Monday, July 04, 2011

කැරිබියන් මුහුදු හොරු - Pirates of the Caribbean

ෆිල්මයක් හදන්න මිනිස්සු කී දෙනෙක් කොච්චරක් මහන්සි වෙනවද කියල නිකමට හරි හිතල තියෙනවද?ඒ මහන්සි වෙන මිනිස්සුන්ගේ නම් ටික වත් අඩුම තරමේ බලල ඉවර කරන්නේ කීයෙන් කී දෙනා ද? හදපු මිනිස්සු ටික විතරක්ම වෙන්න ඇති... අන්න මගේ නම කියල ගෙදර ඉන්න අයට පෙන්නන්න ඒ මිනිස්සු ඔන්න නම් ටික ඉවර වෙනකම් බලාගෙන ඉන්නව ඇති...ෆිල්මයක් අන්තිම වෙනකම් බලන එකේ වටිනාකම කියල දුන්න මෙච්චර කාලේකට බලපු ෆිල්ම්ස් වලින් හෙනම ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එක තමයි මේක.

2003 දි ආපු Pirates of the Caribbean: The Curse of the Black Pearl

 එක වීඩියෝ සෙන්ටර් එකකින් ගෙනාපු  සී.ඩී එකකින් මුලින්ම බලපු දවසෙම කතාව අල්ලල ගියා. ඒ දවස් වල සබ්ටයිට්ල්ස් (ඉංගිරිසි) වත් නැති නිසා දෙබස් හරියට නොතේරුණත්(දැනුත් තේරෙන්නෙ නෑ...) "Captain" Jack Sparrow ගේ පිස්සු රඟපෑමට මාර ආස හිතුණා. අනිත් එක මට තියෙන ෆැන්ටසි පිස්සුවට නියමෙට හරියන විදියේ කතාවක් නිසා දෙවෙනි කොටස එනකම් හෙන ආසාවෙන් බලාගෙන හිටය. කොහොම හරි Pirates of the Caribbean: Dead Man's Chest 


2006 දි ආපු ගමන් එක බැලුවා... ඒක නම් ඩවුන්ලෝඩ් කරල ද කොහෙද බැලුවේ. අපරාදේ කියන්න බෑ ෆන් එක උපරිමයි. . මැරිච්ච මිනිහගේ පපුව බලල ඉවර වෙලා අන්තිමට නම් ටික දාල ඉවර වෙනකම් බලාගෙන හිටියා මොකද ෆිල්ම් සීර්‍රිස් එකේ නැගල ගිය මියුසික් එක නිසා. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි ෆිල්ම් එක අන්තිමට දාන මියුසික් එකටයි වහවැටිල හිටපු නිසා ෆිල්ම් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකම් මම නම් ටික බැලුවා. ජීවිතේ පලවෙනි වතාවට ද කොහෙද ෆිල්ම් එකක නම් ටික ඔක්කොම දාල ඉවර වෙනකම් බලාගෙන හිටියේ. 


            දෙයියන්ට ඔප්පු වෙච්චාවේ කියල මෙන්න බොලේ තේ අල්ලපු මල්ලිගේ නමත් දාල ඔක්කොම ඉවර වුණාට පස්සෙ කතාව මැද හරියෙදි මොකක් හරි සීන් එකක හිටපු බල්ලට (වඳුරද මන්ද) මොකද වුණේ කියල පෙන්නන්න පටන් ගත්තා තත්පර 10ක විතර සීන් එකක්. සිරාවටම පිස්සු හැදුන මට ඒක දැකල නම්.. එදා දැන ගත්තා 3ත් අනිවා එනව කියලා... එදා ඉඳන් තුන එනකම් බලාගෙන හිටියා. කොහොම හරි 2007දි Pirates of the CaribbeanAt World's End



 කියල ආපු 3ත් ඩවුන්ලෝඩ් කරල බලාගෙන ඒකෙත් නම් ටික දාල ඉවර වෙලා දාපු සීන් කෑල්ලත් බලාගෙන ඉතින් කට ඇරගෙන හිටියා 2011දි 

Pirates of the CaribbeanOn Stranger Tides 



ලංකාවට එනකම්... ඔන්න ඉතින් මමයි,මමයි දෙන්නම ගිය සිකුරාදා ඇම්.සී එකේ 7.30 ෂෝ එකට සැට් වුණා ඒක බලන්න... අනේ මන්දා පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට එන කම්  "Captain" Jack Sparrow දෙන ආතල් නම් කියලම වැඩක් නෑ... මිනී මරන,නිධන් තන්හාවෙන් පිරිච්ච කපටි මුහුදු හොරුන් අතරෙ සල්ලිවලට තණ්හාව නැති මුහුදු හොරා කියන රස්සාවට විතරක් කැමති... කිසිවෙකුව කිසිදාක විශ්වාස නොකරන... ෆන් එකේ ඉන්න නියම මුහුදු හොරෙක් ගේ අපූරු රංගනය මටනම් ඕනේ තරම් බලන් ඉන්න පුලුවන්... 


               කොහොම හරි එදා ඇම්.සී එකෙත් නම් ටික දාල ඉවර වෙනකම් කියල සෑහෙන වෙලාවක් හිටියා. හැබැයි ඉතින් මට තරම් ම පිස්සු නැති නිසාද මන් ද අනිත් ජනතාව හෝල් එකෙන් එලියට යන්න ගිය නිසා තේ අල්ලපු මල්ලිගෙ නම් දාන කම් ඉන්නෙ නැතිව අපි දෙන්නත් ආවා.. හොඳ කොපියක් ආපු දවසක ආයේ බලන්න ඕනේ නම් ටික දාල ඉවර වුණාට පස්සෙ මොකො වෙන්නෙ කියල. 


      ඕක බලල ඇවිත් ඉරිදා උදේ(දවල් ද කොහෙද)නිකන් ඉන්න ගමන් විකීපීඩියාව බැලුවා බැරිවෙලාවත් තව කොටසක් හදයි ද කියල දැන ගන්න... කිරි බල්ලට අප්ප පැනපි කියල මේ තියෙන්නෙ දැනටමත් ඉදිරි කොටස් 2ක වැඩ පටාආආන් අරගෙනලු තියෙන්නෙ ... ජොනී ඩෙප් අයියා කියල තියෙනවා මිනිස්සුන්ට කතාව එපා වෙනකම් "Captain" Jack Sparrow ගේ චරිතේ කරන්න මිනිහා කැමතියි කියල... ආදායම අතිනුත් ඔපීසියේ තියෙන බොක්ස් එක පිරෙන්න වාර්තා ගත ආදායම් හදපු ෆිල්ම් 4න්ම අරන් තියෙන නිසා අපේ හිතසුව පිණිස වැඩි වැඩියෙන් කොටස් හැදේවා කියන එක තමයි මගේ නම් එක ම මම(අන්තිම අල්කීරිම නැතුව).

Wednesday, June 29, 2011

තාක්ෂණයද,විද්‍යාවද,කලාවද,ආගමද,සමාජයද

මේවායින් වඩාත් ම වැදගත් එක මොකක් ද?

මගේ විදියට නම් අන්තිම එක සමාජය,ඊට කලින් එක තාක්ෂණය,ඊටත් කලින් එක ආගම,දෙවැනි එක විද්‍යාව, එක කලාව.

ආගම 3ට දැම්මේ ආගම නිසා ලෝකයට සිද්ධ වෙලා තියෙන අහේනිය ගැන හිතල. ධර්මය කියන එකයි ආගමයි මිනිස්සු පටලවගෙන නිසා අපි ආගම් පිස්සො වෙලා කියල මට ඔය නිකන් ඉන්න වෙලාවට හිතෙනව.

සමාජය කියන එක අන්තිම එකෙන් උඩට ගන්න නම් කොහෙත්ම බෑ... ඒක නිසා අපිට නැතිවෙලා තියෙන දේවල් ගැන හිතල බැලුවහම අන්තිමත් හොඳ වැඩියි.

තාක්ෂණේ මොකද 4 වුණේ? බඩ වියත රැක ගන්නේ තාක්ෂණේ පිහිටෙන්  වුණාට තාක්ෂණේ නැති වුණා නම් අපේ ජීවිත මීට වඩා සරල වෙන්න තිබ්බ කියල හිතුණ නිසා 4ට දැම්මා.

කලාව මොකද විද්‍යාවට වඩා ඉහල? ඕනැම විද්‍යාඥයෙක් නිකං ඉන්න වෙලාවට සිංදුවක් අහන්න,ලස්සන දර්ශනයක් රසවිඳින්න, ගෑනු ළමයෙක් එක්ක පොඩ්ඩක් නටන්න කැමතියි නේ... ඕකේ අනිත් පැත්ත වෙන්නෙ නෑනේ කවදාවත්...

අපි මොන සමාජ තත්වේ තියාගෙන කෙස්පැලෙන දේවල් ගැන කල්පනා කර කර ලෝකේ තියෙන අලුත්ම දේවල් අතපත ගගා මොන ආගමක් අදහගෙන ගහමරා ගත්තත් තමන්ගෙ හිතේ අභ්‍යන්තරයේ ඉන්න කලා කාරයව,සංවේදී අහිංසක මනුස්සයව අපිට අමතක කරන්න බෑ...

අපි හැමෝම අභ්‍යන්තරයේ ඉන්න මනුස්සයව අමතක කරල එලියේ ඉන්න මිනිහව පොරක් කර ගන්න දඟලනව ද කොහෙද.. අනේ මන්ද

Tuesday, June 21, 2011

කාලෙකට පස්සෙ දැකපු ලස්සන පින්තූර කිහිපයක්...

...මිනිසා සහ පරිසරය අතර තිබිය යුතු සැබෑ බැඳීම... 


Wednesday, June 15, 2011

මීටර් ටැක්සි

                                      මේක මීටර් ටැක්සි ප්‍රමෝට් කරන්න ලියන පෝස්ට් එකක් කියල හිතන්න එපා. (හිතුවත් කමක් නෑ..) මම ළඟදි (අදත්) එකක ගියා... අවංකවම හෙනම ලාභයි කියල හිතුණා. මම 3 වීල් වල යන්නේ ඇත්තටම හෙන කලාතුරකින්. ඒ නිසා වැඩිය ගනන් මිනුම් දන්නෙ නෑ...
                                    
                                      මේ ළඟදි මිරිහාන හන්දියේ ඉදන් මහරගමට යන්න ඕනේ වෙලා එකක් ගන්න වුණා..  හරියටම ගත්තොත් දුර තියෙන්නෙ කිලෝමීටර් 3කට පොඩ්ඩක් වැඩියෙන්... උදේ 9ට විතර පාරේ ට්‍රැෆික් එහෙමත් වැඩිය නැති වෙලාව... කොහොමත් ස්ටෑන්ඩ් වල ඉන්න අයගේ ගාන වැඩියි නේ.. ඒ නිසා පාරේ යන නෝමල් එකක් නවත්තල ඇහුවා.. ගාන 200/= අඩු කරන්න නම් බෑ කිව්ව.. මම ගියේ නෑ..

                                        ටික වෙලාවකින් ආපු මීටරයක් තියෙන එකකට ඕනෙ දෙයක් වෙද්දෙන් කියල නැග්ගා... පළමු වතාවට නිසා ඇහුවා කොහොමද අයියේ ගනන් කියල.. මිනිහ කිව්ව මීටරේ වැටෙනවනේ.. ඔය සයිඩ් එකේ ගහල තියෙනව අය කරන විදිය කියල... පලමු කි.මි 1ට රු.50/=, වැඩිවෙන සෑම මීටර් 100කටම රු.3/=, නතර කරගෙන ඉන්න සෑම විනාඩියකටම රු.1.50/=.

                                         මහරගම හන්දියට එනකොට ගාන රු 110යි. මට යන්න ඕනේ වෙලා තිබුණේ පිළියන්දල පාරේ තියෙන අපි දෙන්න ගත්ත ගෙදරට (ගත්ත කිව්වේ කුලියට). මුලින් මම හිතාගෙන හිටියේ මහරගමට ගිහින් බස් එකේ යනවා කියල.. හැබැයි ගාන දැක්කම ගෙදරටම යන්න හිතුණා..මහරගම ඉඳල ගෙදරටම තව කිලෝමීටර් 3ක් 3.5ක් විතර ඇති. ගෙදර ළඟට යනකොට මීටරේ ගාන 237යි... රුපියල් 240න් ගමන ඉවරයි.. සම්පූර්ණ ගමන කිලෝමීටර් 6.5ක් විතර. සාමාන්‍ය එකක ඔය ගමන මම ගියා නම් අඩුම 350ක් හෝ 400ක් යනවා...

                                        අදත් නුගේගොඩ ඉඳන් පිටකෝට්ටේ එපිටමුල්ල පාරට ආවා.. ගාන රු.107යි. අඩුම 200ක් වත් යන ගමනක් බාගයක් අඩුවෙන් ආවා.

                                        මුල්ම දවසේ විස්තර කතා කර කර යද්දි දැන ගත්තේ මීටර් හයිකරපු 3 වීල් වලට අනිත් ඒවට වඩා ආදායම හොඳයි ලු...වැදගත්ම දේ ඒවා ඒ ඒ අය හෝ යම් යම් ආයතන වලින් පෞද්ගලිකව හයිකර ගත්ත මීටර් මිසක් රජය හෝ කිසිම සමිතියක් මැදිහත් වෙලා කරපු දෙයක් නොවෙයි කියන එක...ඒ මනුස්සය කියපු විදියට නම් ආන්ඩුවට කොන්දක් නැහැලු හැම 3 වීල් එකටම මීටරයක් හයි කරන්න... ආන්ඩුවට කොන්දක් නෑ කියන එක දැන් දැන් එක එක දේවල් නිසා මිනිස්සුන්ට දැනෙනවා... මීට අවුරුදු 2කට විතර කලින්නම් මේ ආන්ඩුවට හොඳ කෙලින් කොන්දක් තිබුණ කියලයි මම හිතාගෙන හිටියේ...                      
                                  
                                   කොහොම වුණත් එදායින් පස්සේ ස්වයංපෝෂිතව නොයන හැම වෙලාවෙම මීටරයක් තියෙන එකකම යන්න ඕනේ කියල මම හිතා ගත්තා.. හෙට අනිද්දට නැනෝ ටැක්සියකත් ගිහින් බලන්න ඕනේ...

Monday, June 13, 2011

කාල යක්ෂයාගේ හෝරාව…

පරණ පෝස්ට් එකකට පොඩි ඇඩ් එකක්... මේක මම ලියන්න පටන් ගත්තට ලියන්න කම්මැලි කමට නතර කරල දාපු විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසියක්... ඊයේ හදිස්සියෙම හිතුණ ආයේ ලියන්න පටන් ගන්න... වෙනම බ්ලොග් එකක් පටන් අරන් 2007 දී ලියන්න ගත්තට දිගටම ලිව්වේ නෑ... ආයෙත් පොඩි පබ්ලිසිටි එකක් දීල පොඩි කික් එකක් වගේ ගන්න හිතුණා... ලියල තියෙන ඔක්කොම ටික මේකේ දාන්නම්.. කියවල බලල අදහසක් දෙකක් දෙන්නකො...


ඔවූහු පරිපූර්ණ ලෝකයක් පිළිබඳව සිහින මැවූහ..එය ගොඩ නැගූහ..සියළු සැප සම්පතින් පිරුණු ලොවක් ගොඩ නගා ගත් ඔවූන් දැහැමින් සෙමින් කාලය ගෙවූහ.
වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, ආශාව, රාගය ආදී ප්‍රාථමික මිනිස් ගති ඔවුන් තුල නොවීය…
සිත් තුල කිසිවක් නොවූයෙන් සතුටක් හෝ දුකක් ඔවුන්ට කිසිදා ඇති නොවීය.
ඔවුන් දැන සිටියේ තමා පිළිබඳව පමණි..අනුන් ගැන දැන ගැනීමේ අවැසි කමක් ඔවුන් තුල නොවීය…
සැබැවින්ම ඔවූහු මිනිසුන්ම විය..දෙවියන් නොවීය…
දෙවියන් යැයි කිසිවෙක් එහි සිටියේ නැත…
අහස් කුස සිසාරා සිහිල් සුළං රැළි හමා යයි..පහලින් වූ ජල තලය කම්පනය කරවමින් අධ්වේගී මයින්ඩ්ජෙට් යානා ඒ මේ අත ඇදී යයි…
නිල් පාට ආකාශයේ නිකැළැල් බව,පොළෝ තලයේ සොඳුරු බව නීෂා ගේ සිත කුල්මත් කළාය..ඇගේ මයින්ඩ්ජෙට් යානාවේ වේගය තවත් වැඩි වී රන්වන් පාටින් බබළන සිය මන්දිරය වෙත ඈ රැගෙන ගියේය…
මන්දිරය ඉදිරිපිට අංගනයේ යානාව නැවැත්වූ ඇය සිනා සලමින් ඉන් බැස සිය පියාණන් වෙත පිය නැගුවාය. ඇගේ සිත සතුටින් පිරී තිබිණි.
සිනා සලමින් මලක් සේ පියකරුව එන සිය දියණිය දෙස බලා සිටි නෙමින්දේර් රජුට සිය බිරිඳ සිහි විය..දිනපතා උදෑසන සිය මන්දිර අංගනයේ සිට නෙත් මානයේ පෙනෙන ලෝකයේ සොඳුරු බව විඳින නෙමින්දේර් රජු බොහෝ වෙලාවක් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ගෙවී යන අයුරු මෙනෙහි කලේය. කළකට පෙර ජීවිතයෙන් නිදහස් වූ සිය බිරිඳ සමඟ ගෙවූ කාලය සිහි කලේය.
එය ඔහුගේ දින චර්‍යාවේ කොටසක් විය. නීෂාගේ පැමිණීමෙන් ඔහුගේ එම දැහැන මදකට බිඳී ගියේය.
දැවැන්ත කළු මකරාගේ පිට නැඟ ඉදිරියේ වූ මහ වනය දෙස බලා සිනා සුනු ප්‍රයිකූල් තම අත වූ කුඩා උපකරණයේ බොත්තම් කිහිපයක් තද කළේය.
නැඟෙන හිර ඈත ක්ෂිතිජයෙන් තද රතු පැහැති ආලෝක කදම්භයක් නැඟී ආවේය..ඒ ඔවුනට සටනට පිටත් වීමට සිය මූලස්ථානයෙන් ලැබුණු සංඤාවයි..
ලේ වැකුණු අසිපත ලෙළවූ ප්‍රයිකූල් “යමල්ලා”යැයි අණ දුන්නේය. මකරුන් පිට නැඟුනු සෙනෙවියෝ සිය සේනා ඉදිරියට මෙහෙය වූහ.. 30,000 ක සේනාවක් සමඟ ආදි කල්පික අඳුරු වනය තුල ඔවුන් කරන්නට සැරසෙන මේ සටනේ අවසානය කුමක් වේදැයි කිසිවෙකු නොදත්තෝය..වනයට මෙපිටින් වූ තැනිතලා නිම්න භූමියේ විසිරුණු 30,000 ක් පමණ වූ මළ කඳන් පෙර දින කිහිපයේ සිදු වූ සටන් වල දරුණු කම පෙන්නුම් කළේය.. විශ්වය පුරා පැතිරුණු ග්‍රහ ලෝක, ග්‍රහ මණ්ඩල තුල විවිධාකාරයේ සටන් ඇති වී නැති වී ගියේය..විශ්වයට සටන් යනු අරුමයක් නොවේ…නමුත් මේ සටනේ වෙනසක් ඇත..ඒ ඔවුන් සටන් කරන්නෙ කුමක් සමඟ දැයි මේ සෙබළුන් නොදැන සිටීමයි…සිය සතුරා කවුරුන්දැයි නොදැන සටන් කරන මේ සෙබළුන් දැන සිටි එකම දෙය කොයි මොහොතේ හෝ තමන් මිය යන බව පමණි..තමා මිය ගියේ සිය අතින්ම බව ඔවුන් වටහා ගත්තේ මිය ගිය පසු වීම මේ සටනේ ඇති කුරිරු බවයි..
**************************************************************
ටිටී…..ටිටී….ටිටි මල්ලී…කෝ ඔයා…ඔයා කොහෙද ගියේ..මෙහෙ එන්නකෝ…කොහෙ යනවද මන්ද..කොයි වෙලේවත් ගෙදර නැහැ…ටිටි මල්ලියෝ…
ඩිං ඩොං ඩිං ඩොං…ලල්ල ලලා..ඩිං ඩිං..ටිටී ටිටී….ආව්…ෂික්..මේ මොන ජරාවක් ද..මගෙ කකුලත් වැදුනා…මල වදේ..කෝ මේ ටිටියා…
අයියෝ අමතක වුණා නෙ…දැන් වත් යන්න ඕනේ…ඉවරද දන්නෙත් නැහැ….ටිටි මල්ලී ඔයා ඉන්න තැනකින් එනවද නැද්ද…මට බැහැ මුළු දවසම ඔයාව හොය හොය ඉන්න…ටිටීඊඊඊ……
මම යනව යන්න…එනවකො අද ගෙදර….මෝඩ ටිටියා….
අම්මා..ටිටියා ආවොත් අල්ලලා ගෙදර තියා ගන්න කොහෙවත් යන්න නොදී..මම යනවා…නීෂා බලාගෙනත් ඇති…
දෙතුන් වතාවක් ගැස්සුනු මයින්ඩ්ජෙට් යානය ඉහලට නැඟුනේය…එහි වූ නොඟිනිය හැකි තරම් වූ සීරීම් ලකුණු…අසරණ ටිටී ගේ සහෝදරිය ගැන අවට ලෝකයා දැනුවත් කළේය..
ආ..ඔයා ආවද ? මම මේ බලාගෙන හිටියෙ…රිදී පැහැති නවීන මයින්ඩ්ජෙට් යානයෙන් බිමට බට සිය පෙම්වතා වෙත වූ ආදරණීය බැල්මකින් යුතුව නීෂා ඇසුවාය…කොහොමද කුමාරියෙ ඉතින්…සිය ප්‍රියාවියගේ දෑස දෙස ආදරයෙන් බැලූ ඔහු පැවසුවේය…එකිනෙකාගේ දෑසින් ආදර වදන් තෙපලමින් ඔහු හා ඇය මාළිඟාව වෙත පිය නැගුවෝය…
මාළිඟාව තුල සිටි නෙමින්දේර් රජු සිය බෑනාව සෙනෙහසින් යුතුව පිළිගත්තේය…
අනේ මම පරක්කු නැහැ නේද..? මම හිතුවෙ ඉවරත් ඇති කියලා…අසළ තිබූ මල් බදුනක් පෙරලමින් පැමිණි ටිටීගේ සොයුරිය ඇසුවාය..ආ…මේ එන්නෙ අනිත් එක්කෙනත්..කොහොමද දුවේ ඉතින්…රජු සිනා සෙමින් විත් ඇසුවේය..හ්ම් හ්ම්..හොඳා හොඳා…මම හොඳින්..මාමණ්ඩිට කොහොමද..? මම පරක්කු නැහැ නේද..? මම හිතුව ඔක්කොම ටික ඉවර වෙලා ඇති කියලා…
පිස්සු කෙල්ල…කෝ අද ඔයාගෙ මල්ලි ආවෙ නැද්ද..?
අනේ මම දන්නෑ ඒ මෝඩය කොහෙ ගිහිල්ලද කියල..හොයල හොයල බැරිම තැන මම ආව…
ඇති යන්තම් දැන්වත් ආව..මම හිතුව අමතක වෙලා ඇති කියල…නීෂා සිනා සෙමින් සිය මිතුරිය පිළි ගත්තාය…
ආ…කොහොමද..ටිටීගෙ අක්කේ…මොකද මේ හති දා ගෙන…ගෙදර ඉඳන් ම දුවගෙනද ආවේ..?
අනේ යනව මෝඩය යන්න…මම මොකටද දුවන්නෙ මට තියෙනවා නියම වාහනයක්…ඔහේගෙ කබල වගේ නෙවෙයි…
ඔව් ඔව් මම දන්නව අර හැඩේ ඇද වෙච්ච එකනේද…පුදුමයි ඒක තාම වැඩ කරනවද..?
ඊඊඊ….යනව යන්න…
නීෂා කෝ අනේ ඔයා හදපු කෑම..මට බඩගිනියි…
***************************************************************
ඇස්ඩෝව්ස්….මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕනෙ… හොඳින් හරි නරකින් හරි…
ඒක ගැන ඔබ තුමා බය වෙන්න එපා…ප්‍රයිකූල් නියමෙට වැඩේ කරයි… මේක කොහොමවත් වරදින්න විදියක් නැහැ… වියරු හිනාවෙන් යුතු ඇස්ඩෝව්ස් ගේ කපටි ඇස් අඳුරු කුටිය තුල බළල් ඇස් මෙන් දිලිසුණේය.
උඹ ඔහොම කිව්වට අපිට තව ඉතිරි වෙලා ඉන්නෙ සෙබළු 30,000 යි… තාම ප්‍රයිකූල් ඉන්නෙ පටන් ගත්ත තැනමයි. මේක සෙල්ලමක් නෙවෙයි ඇස්ඩෝව්ස් මිනිස්සු 60,000ක් බිලි දෙනව කියන්නෙ මේ ලෝකෙ කිසිම මිනිහෙක් නොකරන දෙයක්…
මම ඒක දන්නව නම්ලොක් නමුත් අපිට වෙන විකල්පයක් නැහැනෙ… ඒක තමයි ස්කෘලොක් ගේ සාපය… අපිට ස්කෘලොක් ව ආපහු ගන්න නම් ඒක කරන්නම වෙනව… දැන් මැරිච්ච මිනිස්සු 30,000 ගැන වත් මැරෙන්න ඉන්න මිනිස්සු 30,000 ගැනවත් හිතල වැඩක් නැහැ… හිතන්න ඕනෙ එක දෙයක් ගැන විතරයි.
අඳුරු මාළිගාව වසා පැවතියේ අඳුරම පමණි. පළිඟු කැට බුබුළු වලින් දුන් මන්දාලෝකය එම අඳුර මකාලීමට ප්‍රමාණවත් නොවීය. මාලිඟාව තුල හිස් වැසුම් ලා ගත් දික් දෑකැති අතින් ගත් අමනුස්ස මුර සෙබළුන් හැර සිටියේ මිනිසුන් කිහිප දෙනෙකි.. ඔවුන් අතර සිටි සැබෑ මිනිසුන් 30,000 ක් මේ වන විට මිය ගොස් සිටි අතර ඉතිරි 30,000 මිය යමින් සිටියෝය..
ගම් වැසියන්ගේ සරල දිවි පෙවෙත සුන්දර එකක් විය. නමුත් එය මායාවක් පමණක් බව ගැමියන් නොදැන සිටියා නොවීය. දැන සිටියත් කළ හැකි කිසිවක් නොවූයෙන් ඔවුන් එම දිවියට පුරුදු වී සරල ලෙස ජීවත් වූවෝය.. කැලෑව ඔවුනට ආහාර ලබා දුන්නාය..ගංඟාව ජලය ලබා දුන්නාය.. හිරුගේ ආලෝකයට ආදරය කළ මෙම අසරණයින් බිය වූයේ සඳුටය.. ඒ සඳු ඔවුනට අඳුර රැගෙන පැමිණි හෙයිනි. අඳුර ඔවුන් ආදරය කල වුන් රැගෙන ගිය හෙයින් ඔවුන් සඳුට ෛවර කළෝය.

“ප්‍රයිකූල් අර කන්ද එහා පැත්තට රෑ වෙන්න කලින් යා ගන්න බැරි වුනොත් අපි අමාරුවෙ.” විඩාවෙන් හෙම්බත්ව පසු පසින් වැටී ගෙන එන සිය අසරණ සෙබළු දෙස අනුකම්පාවෙන් බැලූ සෙන්ට්‍රිනෝ පැවසුවේය. ඩුවෝගේ පිට නැඟුන ප්‍රයිකූල් කෙලින් බලා කිසිත් නොදොඩා සිටියේය.
“මේ මිනිස්සු අපි වෙනුවෙන් මෙහෙම කැප කිරීමක් කරන එක ගැන මට වෙලාවකට පුදුමහිතෙනව. අනිත් එක කිසිම දෙයක් නොලැබෙනව කියල පැහැදිලිවම දැන ගෙන තමන්ගේ ජීවිත මේ විදියට පරිත්‍යාග කරන මිනිස්සු මම නම් කවදාවත් දැකල නැහැ… ”
“ඒක එහෙම වෙන්නෙ නැහැ සෙන්ට්‍රිනෝ… මේ මිනිස්සු මැරෙන්නෙ නිකම් නෙවෙයි… ඔවුන් මැරෙන්නෙ වීරයින් විදියට…”
“හැම සෙන්පතියම යුද්දෙට යන තමන්ගේ සෙබළුන්ට කියන්නෙ ඔහොම තමයි. ඒත් යථාර්තය ඒක නෙවෙයි නෙ. වීරයෙක් විදියට මැරෙන්න නම් වීර කමක් කරල මැරෙන්න ඕනෙ. මට නම් මෙතන කිසිම වීර කමක් පේන්නෙ නැහැ.”
ප්‍රයිකූල් කිසිත් නොකියා ඈත බලාගෙන ගමන් කළේය. සවස් වෙමින් තිබිණි. මකරාගේ පිට මත වූ ආසනයේ එල්ලා තිබුණු ජලය පිරවූ බඳුන ගෙන මදක් පානය කළ ඔහු ඉදිරියෙන් ඇති කඳු පෙල දෙස බැලූවේය. “ඉක්මන් කර පල්ලා” ඔහු සිය සේනාවට අණ දුන්නේය.
ආදි කල්පික දැවැන්ත වෘක්ෂලතාවන් පිරි කැලෑවේ කෙලවරින් වැටුණු මඟ ඔස්සේ ඉදිරියට ඇදෙන මෙම සෙබල පිරිස සිටියේ මැනවින් සන්නද්ධවය. ඔවුන් අත තිබුණේ අධි බලැති කිරණ තුවක්කු, තියුණු මුවහතින් යුතු වානේ අසිපත්, අධි බලැති පිපිරිම් සිදු කළ හැකි දුරස්ථ පාලක බෝම්බ ආදී ඕනෑම ආකාරයක සටනකට සුදුසු ආයුධය. එක් එක් සේනා කණ්ඩ භාර සෙන්පතියන් පැලද සිටි සන්නාහකයන් ඕනෑම වෙඩි උණ්ඩයකට ඔරොත්තු දීමට සමත් ඔනෑම කඩු පහරකට ඔරොත්‍තු දෙන අන්දමේ අතිශය සවිමත් කාබනික ලෝහයන් ගෙන් සමන් විත විය.
මායාවන් ගෙන් කෙළ පැමිණ සිටි ස්කෘලොක් ගේ සොහොන් කොත සොයා යන මේ බියකරු ගමන සඳහා ඔවුන්ට මෙවැනි ආයුධ වල සහාය අත්‍යාවශ්‍ය විය.
බටහිර ක්ෂිතිජයේ නේක වර්ණ රටා ඇඳෙමින් තිබිණි. නිමා වෙමින් තිබුණු දහවල හාත්පස පරිසරයේ සොඳුරු දසුන් මවමින් සිටියාය.
“ස්කෘලොක් ආයෙ අවදි වුනොත් මේ නිහඩ බව තව දුරටත් මේ විදියට තියෙන එකක් නැහැ.” ගං තෙරේ ඇවිදිමින් සිම්ටෝන් පැවසුවේය. “අනේ මට බයයි සිම් ස්කෘලොක් ගෙ හිනාව ගැහැණුන් ව වශී කරනවලු නේද?””ගැහැණුන් ව විතරක් නෙවෙයි යක්ෂයො පිසාචයොත් වෂී කර ගන්න ස්කෘලොක් ට පුළුවන් කියල මම අහල තියෙනව.”


ස්කෘලොක් ගැන කතා කරන එකත් අපිට තහනම් කරල තියෙන්නෙ..
හැම දේම හොඳන් සිද්ධ වෙයි කියල හිතමු…
සිම් සිය අහිංසකාවිය දෙස ආදරයෙන් බලා පැවසුවේය…
********************************************************************************
සදාකාලිකත්වයේ රහස සොයා මිනිසුන් නොනැවතී යන මේ ගමන දෙස උපේක්ෂාවෙන් බලා සිටි ඔවුන්ට කළ හැකි කිසිවක් නොවීය…
තමන් පතන සදාකාලිකත්වය තමා තුලින් සොයා නොගෙන මායාවන් ලුහුබැඳීම පිළිබඳව ඔවුන් තමුන්ගේ වර්ගයාට දොස් නොපැවරූහ.. ඒ ඔවුන් අනිත් වුන්ට වඩා උසස් යැයි සිතා සිටි නිසා නොව අවබෝධය යනු ලබාගත යුතු දෙයක් මිස ඉබේ නොලැබෙන දෙයක් බව ඔවුන් මනාව දැන සිටි හෙයිනි…
කිසිවිටෙකත් ඔවුන් සිය නෑයින්ගේ ක්‍රියාවන් පිළිබඳව තිබූ අවදානයේ වෙනසක් සිදු නොවීමට වග බලා ගත්හ… අවශ්‍යවිට අවශ්‍ය දේ කිරීමට ඔවුන් කිසි විටෙකත් පසුබට නොවනු ඇත…
*********************************************************************************
අර මොකක් ද?
සෙන්ට්‍රිනෝ නැඟෙනහිර දෙසින් ගලා ආ මීදුම් පටලය දෙස බලමින් ඇසීය…
සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්‍රිනෝ.. මේ මීදුම එච්චර සුභ ලකුණක් නම් වෙන්න බෑ… ඈතින් ගලා එන අඳුරු පැහැති මීදුම් පටලය දෙස බලා ප්‍රයිකූල් කෑ ගෑවේය..
සෙන්ට්‍රිනෝ ගේ සහ ප්‍රයිකූල් ගේ අණින් සෙබළුන් වනයේ ගස් අතරට වැදෙන්නට විය..
ඔවුන්ගේ මුහුණු තුළ මරණයේ බියක් සටහන් වූයේ නිතැතින්මය..




ක්‍රම ක්‍රමයෙන් මීදුම වනයේ ගස් අතරට ගලා එන්නට විය…
ගොම්මන් යාමයේ අදුරු මීදුමක් තුළ සිදුවිය හැකි දේ බොහෝ බව දත් සෙබළු සිය අවි ආයුධ සූදානම් කරගත්තෝය…
වනය තුළ පැතිරුණ නිහඩතාවය දෙබෑ කරමින් ගලා ආ කටෝර නාදයෙන් සෙබල හදවත් නතර විය…
දෙවියනේ මේ මොක්කුද???
දුවපල්ලා…. මුන්ගෙන් බේරෙන්න නම් දුව පල්ලා… ක්‍රෑටස් කෑ ගැසුවේය.. කොහෙ දුවන්නද යකෝ… අසළ සිටි වෙඩික්කරුවා බිම පෙරෙලෙමින් හඩ නැඟීය..
ඔහුගේ හිස වසා සිටි පිසාච මැස්සන් ගේ ප්‍රහාර වලින් සිදුරු වූ මුහුණින් ලේ පෙරෙමින් තිබිණි.
බිම පෙරෙලමින් මැස්සන් ගසමින් සෙබළුන් සී සී කඩ දිව ගියෝය..
දස අතින් නැඟුණ මරහඩ සහ වෙඩි හඩ අතරින් පියඹා ආ ලේ පිපාසිත පිසාච මැස්සන් ගේ හඩින් නිසල වනය සසල වී ගියේය.......
-----------------------------------------------------
කතාව සම්පූර්ණයෙන් ම වෙනම බ්ලොග් එකක ලියන එක හොඳයි කියල හිතල පටන් ගත්ත පරණ බ්ලොග් එක මෙන්න

පොතක පිටු පෙරලනවා වගේ පෝස්ට් දාන්න පුළුවන් වර්ඩ්ප්‍රෙස් තීම් එකක් හොයා ගන්න ඕනේ.. අන්තිමට දාන පෝස්ට් එක උඩින්ම තියෙන නිසා කතාවේ මුල හොයන්න ගොඩක් දුර යන්න වෙනව නේ...

Thursday, June 09, 2011

අපේ ෆිල්ම් ෆෙස්ටිවල් එක

                                               අපි දෙන්න ෆිල්ම් ෆෙස්ටිවල් එකක් පටාන් ගත්තා (දෙන්න කිව්වේ මමයි මමයි). මෙච්චර දවසක් තනියම ෆිල්ම් බලපු එකේ දැන් දෙන්නත් එක්කම බලනවා. අපරාදේ කියන්න බෑ මේ වෙනකොට ෆිල්ම් 4ක් 5ක් අපි දෙන්න බැලුවා. අරම්භ කළේ  Water for Elephants බලල.  දන්න කියන මේ දවස් වල ජනප්‍රිය නලුවෝ දෙන්නෙක් ම(Robert Pattinson/Christoph Waltz) ඉන්න නිසා ගියා බලන්න. හැබැයි වැඩක් නෑ.. ඔන්න එකමත් එක රටක තිබිච්ච සර්කස් එකකට අහම්බෙන් සෙට් වෙන කොල්ලෙක් සර්කර් එකේ අයිතිකාරයගේ ගෑනිත් එක්ක පැනල ගිහින් බොහෝම සතුටින් ජීවත් වුණා ලු.. කියල එක වාක්‍යයෙකින් ෆිල්ම් එකම කියල දාන්න පුළුවන්. රොමෑන්ටික් එකක් වගේ නිසා ආරම්භ කරන්න හොඳයි නේ කියල බලන්න ගියා මගේ කැමතිම වර්ගෙ එකක් (Thor)අත ඇරල  පස්සේ අපරාදේ කියල හිතුණා. මොනව කරන්න ද ඉතින්. 
                                                           ඊට පස්සේ ගෙදර ඉඳන් බැලුවා The Patriot. ඒක නම් බැලුවට පාඩු නෑ වගේ. හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ පැය 3ක් විතර බලාගෙන ඉන්න පුළුවන්. හෙට අනිද්දා TransformersDark of the Moon  එනවයි කියන නිසා මම කතාව මතක් කරගන්නත් එක්ක Transformers එකයි Transformers: Revenge of the Fallen බලන්න පටන් ගත්තා. කොහොම හරි  Transformers එක මම තනියම බැලුවා Transformers: Revenge of the Fallen  එක පාන්දර 1 විතර වෙනකම් අපි දෙන්නම බැලුවා. 
                                                                         Transformers: Revenge of the Fallen එකේ තනිකරම තියෙන්නේ යකඩ ගොඩවල් හැප්පෙන එක නිසා පොඩි මනුස්ස ගතියක් එන්න කියල හිතාගෙන හින්දි ෆිල්ම් එකක් බැලුව (ඇත්තම කියනවනම් Jodhaa Akbar බලන්න දොල දුකක් වගේ එකක් හැදිල තිබුනා නේ එක්කෙනෙකුට...) හොඳ ටොරන්ට් එකක් හොයා ගන්න බයිස්කෝප් සයිට් එක පුරාම හෙව්ව තිබ්බේ නෑ.. පස්සෙ ගූග්ල් ලොක්කා හොයල දුන්න එක බාගෙන ගිහින් බලන්කොට එකේ සද්දෙයි රූපයි යන්නේ වෙන වෙන ම... ඊටත් පස්සේ යන යන පාරවල් දිගේම තිබුණ කඩවල් 60ක විතර හොයල හොයල අන්තිමට යාන්තම් Jodhaa Akbar  බලාගත්තා...
                                                            ඊළඟට බලන්නේ Taal ද  Gone in Sixty Seconds ද කියල තමයි මේ දවස් වල කම්පනා කර කර ඉන්නේ... අනේ අයියා අපි තාල් බලමු කිව්වම ඉතින් තීරණේ එනවා. කොහොම වුණත්  Pirates of the Caribbean: On Stranger Tides M.C එකට ආපූ ගමන් ගිහින් බලන්න මේ වෙනකොට එකඟතාවෙකට ඇවිල්ල ඉන්නේ... 












Monday, May 30, 2011

ලියුම් මැකීම

මීට අවුරුදු 6-7කට කලින් කවදාවත් ලියුමක් මකන්න වෙන එකක් නෑ කියල දුන්න පොරටෝක් එකට අහුවෙලා ගත්ත ලියුම් පෙට්ටියේ ඉඩ 95% ඉවරයි කියල කියපු නිසා ඇවිල්ල තිබ්බ ලියුම් 6000ක් විතර මකල දාලා යාන්තම් සුද්ද කරල ගත්තම දැන් කියනවා You are currently using 6621 MB (87 %) of your 7588 MB. ලු. තව කී දාහක් මකන්න වෙයි ද මන් ද....

Over 7588.402033 megabytes (and counting) of free storage. ලු. අනේ මන් ද  මෙහෙම කිව්වට කොහොම විස්වාස කරන්න ද... 
මකන එකත් ලේසී නෑනේ... කියවන්නේ නැතුව තිබිච්ච ලියුම් 6000ක් විතර හොයල මකල දැම්ම.. මෙච්චර කාලයක් නොකියවා හිටිය කියල අප්සැට් එකක් වුණේ නැති නිසා මකල දැම්මත් අප්සැට් එකක් වෙන්නේ නෑනේ කියල... 

in:Unread,in:has Attachment කියල ලියුම් පෙට්ටිය ඇතුළෙ හොයල තමා මැකුවේ...අපරාදේ කියන්න බෑ ලියුම් යවන්න කරන්න වගේම මකන්න කරන්නත් (යවනවා මකනවා හැරුණු විට කරන දේ "කරන්න" යන්නෙන් අදහස් වේ... :) ) පහසුකම් නම් දීල තියෙනවා... කොහොමත් නිතර ලියුම් එවන ගෘප් ෆිල්ටර් කරල ලේබල් හදල තිබ්බම මකන්න ලෙසියි... අපි කියවපු ලියුම් නියම කරන දවස් ගනනකදි ස්වයංක්‍රීයව මැකිල යන්න ක්‍රමයක් තියෙනවද කියල හොයල බැලුවට හම්බ වුණේ නෑ...දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ටුවක් දාල යන්න... ලැබ් එකේවත් තියෙයි ද දන්නෑ....

මා විසින් නොකියවා මකා දමන ලද ලියුම් එවූ සියලු දේනාට මාගේ බලවත් කණගාටුව!!!




Wednesday, May 25, 2011

දෙකඩව මාසයක්...සහ 100ක්

අද ට මම, අපි වෙලා හරියටම මාසයයි... තනිකඩව ලිව්ව 99ට පස්සෙ ලියන 100 වෙනි පෝස්ට් එක මේක... එක දිගට මාස 6-7ක් තිස්සේ එහෙට මෙහෙට දුව දුව කරපු යුද්දෙ දැන් යාන්තම් ඉවරයි... සියල්ල බොහෝම හොඳින් සිද්ධ වෙලා රැස් ව සිටි සියලු දෙනා සතුටින් විසිර ගියා... අපි දෙන්නත් හැමදේම අළුතින් ම පටන් ගත්තා... දෙන්න කිව්වට දෙකම එකයි.. ඒ නිසා පිස්සු ඩබල් ගතියකුත් ටිකක් විතර තියෙනවා  හික් හික් හික්..... කොහොම වුණත් ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගලාගෙන යන්න පටන් ගත්තා ඒක නම් හිතට මාර සැනසීමක්...

මේ දවස් වල ඉතින් හතර වටේ ගමන් බිමන් යන එක සහ යන යන තැන් වලින් කන බොන එක තමා කරන්නේ... අපි දෙන්නගේ උයන වැඩෙත් සෑහෙන්න නැඟල යනවා... අපරාදේ කියන්න බෑ උයන ඕනේ දෙයක් බඩ පැලෙන්න කන්න පුලුවන් (අපේ එක්කෙනාගේ අත් ගුණේ නේ.. හිහ්)... පොල්ගෑම (පිටිකළ පොල්කිරි කඩෙන් ගෙනත් දීම) වගේ දේවල් වලට මටත් උපන් හැකියාවක් තියෙන නිසා කොයි වෙලාවේ වත් බඩ ගින්නේ ඉන්නේ නෑ... එක එක පරීක්ෂණ කර කර හැදෙන ඕනේම දෙයක් කනවා...

ගිය සතියේ ඉඳල වගේ ෆිල්ම් ෆෙස්ටිවල් තියන්නත් නිදහස පොඩ්ඩක් ලැබුණා.. ඒ එක්කම ස්ටාර් ගේට් සීසන් ටික ඔක්කොමත් ලැබුණා... පොඩ්ඩක් බැනුම් අහ අහ ෆිල්ම් බලන එකත් පට්ට ආතල් වැඩේ... කොහොම හරි පවුල් ජීවිතේ කියන එක අපූරුවට යනවා... කිරිගහට මෝල්ගහෙන් ගැහුව වගේ අපි දෙන්න එකම වගේ වෙච්ච එක  (එකම දේ එකම වෙලාවට හිතීම කියන එක නිතර වීම) නිසා හැමදේම හොඳින් සිද්ධ වෙනවා.... කොහොම වුණත් අපි දැන් බැඳල නේ කියන එක නම් කොයි වෙලාවෙ වත් මතක් වෙන්නෙ නෑ... මුද්ද දැක්කම තමා ඒක මතක් වෙන්නෙ...

බ්ලොග් ලියන එක අද ඉඳන් නිල වශයෙන් පටන් ගන්නයි ඉන්නෙ... ඉලංදාරියාගේ සමුගැනීම අවංකවම දුක හිතුන දෙයක් මොකද පහුගිය දවස් වල එක දිගට තිබ්බ වැඩයි ගමන් බිමනුයි නිසා මට එක සැරයක් වත් ඉලංදාරියව හම්බ වෙන්නවත් හරිහමන් උදව්වක් කරන්නවත් අඩුම තරමේ මල ගෙදරවත් යන්න බැරි උණා... මොනව කරන්න ද.... පිං අතේ වැඩක් කරන හැම වෙලාවෙදිම ඉලංදාරියව මතක් කරල පිං දෙන එක තමා අපිට කරන්න පුළුවන්...

ජීවිතේ හැටි... මම බොහෝම සතුටින් ජීවිතේ පටන් ගන්න කොට මම වගේම තව කෙනෙක් ජීවිතෙන් සමු අරන්... රෝදේ කැරකෙන විදිය තමා... මොනව කරන්නද ඉතින්...

ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී කියල ඉස්සර පිස්සු පූසා කියන කතාව තමා කියන්න වෙන්නෙ...

අපි දෙන්නගේ පොටෝ කෑලි ටිකක්....












සහ මගේ හෙලිකොප්පරය...




හෙලිකොටර් එක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්...

Wednesday, April 20, 2011

99ක් තනිකඩව

2006 අගෝස්තු 17 ලියන්න පටන් ගත්ත මේ බිත්තියේ මේ වෙනකොට මම 119ක් දේවල් ලියල ඒකෙන් 98ක් විතරක් පබිලිස් කරල තියෙනවා.

අවුරුදු 4යි මාස 8ක් විතර මේ බ්ලොග් ලිවිල්ල කරල ඉගෙන ගත්ත දේ ගොඩයි.හම්බ වෙච්ච යාළුවොත් ගොඩයි. හම්බ වෙලා කතා කරල නැති උණාට කොමෙන්ට් වලින් දන්න අය ගොඩක් ඉන්නවනේ...මම නම් බ්ලොග් බලන්නෙත් කොමෙන්ට්ස් දාන්නෙත් හරිම අඩුවෙන්... ඒක හදාගන්න ඕනේ..

ඇත්තම කිව්වොත් මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ සිංහල යුනිකෝඩ් ගෘප් එකට සම්බන්ධ වෙලා හිටපු කාලේ... සිංහල යුනිකෝඩ් ප්‍රචලිත වෙලත් මහ කාලයක් නෑ එතකොට. කොහොම වුණත් එදා ඉඳන් අද දක්වා සිංහලෙන් ලියන්න උදව් කලේ නම් ගාර්ප් එක තමා. මේක ලියන්න පටන් ගන්නකොට මම බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ...(දැනුත් දන්නේ නෑ)

බ්ලොග් ගැන නොදැන හිටියට පොඩි කාලේ ඉඳන් එක එක දේවල් ලියන්න තියෙන උණ හොඳ කරගන්න තිබිච්ච හොඳ අවස්ථාවක් නිසා ලියන එක නැඟල ගියා. හැබැයි කියවන්න නම් වැඩිය කට්ටිය හිටියේ නෑ... සි.යු. ගෘප් එකේ කට්ටිය විතරයි නිකමට හරි ඇවිත් බැලුවේ...

බලන්න අය හිටියත් නැතත් මට ලියන්න හිතෙන දේ ලියල දැම්මා... දැන් නම් ගොඩක් දේවල් වෙනස් නිසා සිංහල බ්ලොග් ලියන එක නැඟල යනවා.

ඒක නම් ඇත්තටම හෙනම වටින දෙයක්. ජාලේ ඇතුලේ සිංහලෙන් කියවන්න දේවල් තියෙන එකේ වටිනාකම කියල වැඩක් නෑ.(අපේ ඉතින් කඩ්ඩ හෙනම පොලිස් නේ ඒකයි)

ඉගෙන ගන්න දේවල්, එක එක අදහස්,තාක්සනේ, මඩ,වලි,බොරු,පොර ටෝක්ස් ඔය ඕනම දෙයක් දැන් සිංහලෙන් ම තියෙනවනේ....

කොහොම වුණත් මෙකත් එක්ක ලියපු පෝස්ට් 99ම ලිව්වේ තනිකඩයෙක් විදියට... මුල්කාලේ ලියපු පෝස්ට් වල ගොඩක් ම තියෙන්නෙ තනිකඩ කොලුකම් වල ආතල් තමයි... 100 වෙනි පෝස්ට් එක තනිකඩවම දානව ද දෙකඩ වුණාට පස්සෙම දානව ද කියල තාම හිතල නෑ... දෙකඩ වෙන්න තියෙන්නෙ තව දින 5යි...

ජීවිතේ සිද්ද වෙන වෙනස් වීම් එක්ක ලියන දේවලුත් වෙනස් වෙයි... මොන දේ වෙනස් වුණත් ලියන එක නතර වෙන්නෙ නෑ...

Friday, April 08, 2011

අපේ එකෙකුට ගැසූ උපන්දින මඩක්

තනිකඩව තිස්වසක් ගෙවූවා වූ ද.... පොලිෂ් සපත්තු පැලඳ, ක්ලීන් සූට් ඇඳ, තෙල් ගා හිස පීරා කෝඩ් කොටන්නට වැඩට යන්නා වූ ද, වයර් කෑලි,කම්බි කෑලි ප්ලාස්ටික් කෑලි වලින් තොර ලොවක් නැත්තාවූ ද...., පාන්දර 5ට එලාම් තියා අමාරුවෙන් නැඟිට ජපානයේ අඩුගානට විකුණන කාර් ඇති සල්පිල් වල කරක් ගැසුවා වූ ද.... ඇඟපුරා මඩ නාගෙන කාර් හෝදන්නා වූ ද.... අලුත් කාර්වලට කැමති කෙල්ලන් සොයා අමාරුවෙන් කෝඩ් කොටා හම්බකරගන්නා සොච්චමෙන් පෙට්‍රල් ගසා රට පුරා යන්නා වූ ද...., කාර් වලට නැත්නම් සුදුසු කමකට හෝ කෙල්ලෙක් සෙට් වේවා යන පරම පිවිතුරු චේතනාවෙන් ඇම්.බී.ඒ එකක් කරන්නා වූ ද 

The 40 Year Old Virgin නම් සිනමා කෘතිය තමන් කැමතිම සිනමාපටය ලෙස සලකන්නා වූ ද... කෙල්ලෙක් සොයා ගෙවූ 30 වසර තුළ ගැසූ අවසන් තුරුම්පුව ලෙස හෝම් තියේටර් එකක් මිල දී ගෙන කෙල්ලන්ට ඇසෙන ලෙස සද්දෙට ඉංග්‍රීසි සිංදු අසන්නා වූ ද තවුසන්ඩ් ටෝක්ස් මිස මේ වන තෙක් කරගත්තා වූ දෙයක් නැති................ මිතුරාට උපන්දින සුභපැතුම් ගෙන එන්නේ........

Thursday, March 10, 2011

ආදරණීය ඩ්‍රොයිඩයන්....

ANDROID ගැන මේ දවස් වල නොදන්න කෙනෙක් නෑ නේ (අපේ අම්මලගේ පරම්පරාවේ අය නැතුව). මමත් මේ අද ඉඳල පොඩි ANDROID ඇප්ලිකේෂන් එකක් හදන්න පටන් ගත්ත නිසයි මේ ලියන්නෙ හිතුනෙ. මම ANDROID ගැන දන්න දෙයක් නම් නෑ. තාම ඉගෙන ගන්නවා. 


ANDROID ලෝගෝ එක දැක්කම කෙනෙක් ව මතක් උණා. ඇත්තටම ඒක නිසයි මේක ලියන්න හිතුණේ... ටී.වී එකේ කාටුන් බලපු... මම හිතන්නේ ITN එකයි රූපවාහිනියයි විතරක් පෙනුන කාලේ වගේ ට්.වී එකේ කාටුන් බලපු අය ඉන්නවනම් මෙයාව මතක් වෙන්න ඕනේ... 


මේ ඉන්නෙ C3PO(See-Threepio). 


මේ ඉන්නේ ලෝකප්‍රසිද්ධ චරිතයක්. අපි හැමෝම දන්න Star Wars  කතා මාලාවේ ඉන්න දන්න කියන ඩ්‍රොයිඩයක්. 




මේ ඉන්නේ R2D2 (Artoo-Detoo). See-Threepio ගේ අතිජාත මිත්‍රයා.  මේකේ C3PO කියන්නෙ පිස්සු ලෝකයක් හැබැයි මේ බට්ටා R2D2 මොළ කාරයා. C3PO ගේ පිස්සු වැඩ වලට උදව්පදව් දෙන්නෙ වගේම ටිකක් හිතල බලල වැඩ කරන්නෙ මෙයා තමයි. එකම දේ මෙයාට තේරෙන්නේ මැෂින් භාෂාව විතරයි. ඒ කියන්නේ ඔය එක එක බීප් සද්ද වගේ දේවල්. මිනිස්සු එක්ක වැඩ කරද්දි මෙයාගේ සහයට ඉන්නෙ C3PO. මොකද මෙයාගේ යන්ත්‍ර භාෂාව තේරෙන්නෙ C3PO ට විතරයි.

ලියාගෙන යනකොට ලුක් ස්කයිවෝකර්ඩාත් වේඩාර් ,ඔබී-වන්-කෙනෝබි ඔය ඔක්කොම ඉතින් මතක් නම් වෙනවා. 


ඔක්කොම ගැන ලියන්න ගියොත් මේ ඩ්‍රොයිඩයන් ගැන මතක් වෙලා ලියන්න පටන් ගත්ත එකට නිකන් හරි නෑ වගේ නේ. කොහොම හරි  Star Wars ගැන අහලවත් නැති කාලේක ටී.වී එකේ මේ රොබෝල දෙන්න ඉන්න කාටූන් එක බලන්න හරි ආසවෙන් හිටපු හැටි මතක් වෙනවා.. පස්සේ කාලෙක  Star Wars  ෆිල්ම් එක බලද්දි තමා මෙයාල කවුද කියල හරියටම දැන ගත්තේ.  R2D2 සහ ANDROID ලෝගෝ එක අතර සම්බන්ධයක් තියෙනව ද කියල නම් මම දන්නේ නෑ. නමුත් ANDROID දැන් දැන් මොබයිල් මාකට් එක වේගයෙන් ආක්‍රමණය කරන්න හේතුව මිනිස්සුන්ගේ හිත ඇතුළේ ඉන්න මේ පුංචි රොබොට්ට ද කියල නිකමට වගේ හිතුණා. 


ANDROID Open source කියන එක වගේ තාක්ෂණික දේවල් පාවිච්චි කරන ගොඩක් මිනිස්සු දන්නෙ නෑ නේ..


කොහොමත් අපේ හැංඟිච්ච සිතුවිලි මාකට් කරන එක තමා මේ කාලේ ගොඩක් අය කරන්නේ... 







Friday, March 04, 2011

ජීවිතේ ගැන අපි දන්න බම්බුව

අපි ගොඩක් අය හෙන පොර ටෝක් දානවා (මමත් ඇතුළුව) ජීවිතේ අපි විඳල තියෙන දේවල් බැලුවම ඕව මොනවද කියල... අනිත් අයට හෙන උපදෙසුත් දෙනවා... (මමත් ඇතුළුව).... මේ පහළින් තියෙන වීඩියෝව මම මීට අවුරුදු 3-4 කට කලින් දැක්ක... මගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වුණා... මේක ඔනලයින් හම්බ වුණේ අද... තම තමන් දුක් වෙන දේවලුයි... අනිත් අයට උපදෙස් දෙන්න තරම් තමන් විඳල තියෙන දුක් ගැනයි දෙපාරක් (එක පාරක් හරි කමක් නෑ) විතර හිතල බලන්න මේක උදව් වෙයි කියල හිතුණ.

සතුට සහ දුක කියන්නේ තමන්ගෙම හිත මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න මේක අපි කාට කාටත් උදව් වෙයි....



මේක නැවත මතක් කරල දුන්නෙ මෙන්න මෙයා .

Tuesday, March 01, 2011

රෑට නැති නුවණ උදේට ලබා දෙන ලස්සන වසීලිස්සා



                      අපේ පවුලේ පරම්පරා 3ක විතර ළමා කාලය සුන්දර කළ ලස්සන වසීලිස්සා පොත

ලස්සන වසිලිස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම ඒක කියවන්න කියල මුලින් ම කියන්නම්... මොකද ඉවාන් කුමාරය,බාබයිගා යකින්න,නිදිමන්තර කාර පූසා, නොමැරෙන කසෙයි රාක්ෂයා,රන්කෙඳි අස්සයා, අන්ද්‍රේ, සිමියොන්ලා 7 දෙනා, මාර්යා මොරෙව්නා  වගේ කට්ටිය අදුරන්නේ නැතුව මේක කියවන එක වැඩක් නෑ. අඩුම තරමේ නපුරු බිරියෝසා ගස් ගැනවත් දැනුමක් නම් තියෙන්නම ඕනේ.. හප්පා.. නැති රටේ ඉන්න නැවුං මස්සිනාව අමතක වුණා නේ... අනේ සොරි මචං...

 බාබායිගා යකින්න වංගෙඩියක් උඩ නැගල කොස්සෙන් පාර පිහදම දමා අහසින් යන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ නහය ගොඩාක් දිග නිසා රාක්කයක් උඩ තමා තියල තියෙන්නෙ... යටිපතුල් පොරවගෙන තමා නිදා ගන්නේ... ඔය ලොකුවට තියෙන්නෙ නපුරු බිරියෝසා ගහ.  ළඟට එන මිනිස්සුන්ගේ ඇස් උගුල්ලලා දානව ඔය ගහ. හරිම භයානකයි... වසිලිස්ස ඉතින් කාටත් කරුණාවෙන් සළකන නිසා නපුරු බිරියෝසා ගහත් මෙල්ල වුණා.


කුකුලෙකුගේ කකුලක් උඩ කරකැවෙන යකින්නගේ ගේ පොඩිත්ත. වටේටම තියෙන්නෙ මිනී ඔළු ගහපු වැට. වැට ගාව තියෙනවා නපුරු බිරියෝසා ගහක්.. සෙල්ලං නෑ... ගේ ලඟට ආපූ කෙනෙක් ලේසියෙන් යකින්නගෙන් ගැලවිලා නම් යන්නෙ නෑ... බොහෝම හිත හොඳ කරුණාවන්ත, බුද්ධිමත්, දක්ෂ අයට විතරයි බේරිලා යන්න පුළුවන්...ඒකත් යකින්න පවරන වැඩ ටික ඉවර කලොත් විතරයි...
නිදිමන්තර කාර පූසා තමයි පූසා... ඌ කියන නින්ද යන කතන්දර අහගෙන මෙලෝ මිනිහෙකුට ඇහැරගෙන ඉන්න බෑ... අනිත් එක පේනවනේ නපුරු කම, අන්ද්‍රේ යාන්තම් ගැලවුණේ එයාගේ බිරිඳගේ මොලේ නිසා තමා.  අන්දරේ ඉතින් අහිංසක මනුස්සයනේ හැබැයි එයාගේ ලස්සන නෝනා එහෙම නෑ.. එයා මායා කාරියක්...
    
ඉවාන් කුමාරය ලස්සන යෙලේනා කුමරියත් එක්ක රන්කෙඳි අශ්වයා පිටේ එන අපූරුව බලන්න එපෑ... අල්ලගත්ත ගිනි කුරුල්ලවත් කූඩුවේ දාගෙන... මොන සටනක් දීල ද මේ තුන් දෙනාව ලබා ගත්තේ... ඉවාන් කුමාරයට රජ්ජුරුවන් ගෙන් තියෙන කරදර ගැන නම් කියල වැඩක් නෑ...දැන් කාලේ වගේම තමා...ලස්සන කෙල්ලෙකුට ඉස්සරත් නිදහසේ ඉන්න නෑ... කොහොම උනත් අන්තිමට ඉතින් දුෂ්ටයට කෙල වෙනවා..


මේ ඉන්නේ නොමැරෙන කසෙයි රාක්ෂයා... මෙයාව කවදාවත් මරන්න බෑ... බොහෝම ලස්සන මාර්යා මොරෙව්නා ගේ ආදරේ වෙනුවෙන් නිර්භීත කුමාරයෙක් නොමැරෙන කසෙයි රාක්ෂයා එක්ක කරන දරුණු සටන්...  අන්තිමට මොකෝ වෙන්නේ කියන එක කියවලම තමා බලාගන්න වෙන්නෙ.... බාබායිගා යකින්න ගේ අස්ස ඉස්තාලේ ඉන්නව නේ කසෙයි ගේ අශ්වයට වඩා බලවත් අශ්වයෙක්...


ඕං රීං.... පුදුම අශ්වයා වරේන් කියල පාළු සොහොනකට ගිහින් මතුරල බලන්නකෝ... හැබැයි ඉතින් දෙමව්පියන්ට සළකන අය විතරයි ... මෝඩ ඉවාන් කොච්චර මෝඩ උණත් ගති ගුණ අතින් බොහෝම උසස්.. අන්තිමට ඉතින් තට්ටු ගානක් උඩට පුදුම අස්සයව පන්නල රටේ ලස්සනම කුමාරිව සිප ගන්න තරම් මෝඩ ඉවාන් දක්ෂයෙක් වෙනවා...


සිමියොන්ලා හත් දෙනා තරම් දක්ෂ වැඩ කාරයෝ මුලු ලෝකෙම නෑ... කියන පරක්කුවෙන් ඕනේ දෙයක් කරන්න එයාලට පුළුවන්...සිමියොන් වඩුවා,සිමියොන් නාවිකයා, සිමියොන් ගණන් කාරයා ඒ විතරක් යැ.. පුංචි සිමියොන්... පුංචි සිමියොන් දක්ෂ බටනලා වාදනයට.. නපුරු යුධ නායකයගේ නපුරු වැඩ මේ අයියල මල්ලිලා ගේ දක්ෂ කමින් පරද්දන හැටි කියල වැඩක් නෑ... අන්න කතා..

අලෝනුෂ්කා අක්කගෙයි ඉවානුෂ්කා මල්ලිගෙයි සහෝදර ප්‍රේමය, රතු එළදෙනගේ ආදරය, හිම සීයා නපුරු කුඩම්මට දෙන දඩුවම්... මෝඩ එමලිය මාළුවට අණ දි දී කරන පිස්සු වැඩ... දුප්පත් ඉවාන් ට ඉර,සුළඟ දුන්න තෑගි... රාජ අලියගේ පිහාටුවට මතුරන අහිංසක මර්යුෂ්කාගේ ආදරය, රිදී පීරිසිය සහ රත්තරන් හදවත

අනේ මන් ද මේ දැනුත් මම ඉන්නේ ඒ ලෝකේ වගේ...

පින්තූරයක් දාන්න බැරි උණාට නැවුං මස්සිනා ගැන නම් මොකුත් නොකියම බෑ.. පින්තූර දාන්නෙ කොහොම ද ඉතින් නැති දේක... කාට හරි කරන්න බැරි වැඩක් පවරන්න ඕනේ නම් මෙන්න වැඩේ... කියන්න ගිහින් නැති රටෙන් නැති දේ හොයාගෙන එන්න කියල... හික්.. හික්... ගිය මිනිහෙක් ආයෙ එන්නෙ නෑ... අපායට ගිහින් ඉන්නෙ කෙනෙක් ගේ දුක සැප හොයාගෙන එන්න පුළුවන් නැති රටෙන් නැති දෙයක් නම් කාටවත් ගේන්න බෑ...

කොහොම වුණත් ඉගෙන ගන්න තියෙන්නෙ එකම පාඩමයි.. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..ඒ නිසා ඔය ඔළුවේ නට් බුරුල් වෙනකම දවස තිස්සේ හිත හිත දඟලන ප්‍රශ්නයක් ආවම රෑට නැති නුවණ උදේට පහළ වෙනව කියල 3න් පාරක මතුරල ගිහින් නිදා ගන්න... (ඊට පස්සෙ පහුවදාට ආයේ මුල ඉඳල හිතල අරක කොහොම හරි ගොඩ දාන්න..)