Monday, September 20, 2010

මගේ පොත කඩේ ඇත.

පොත් ප්‍රදර්ශනය බලන්න ගියා... එක පොතක් වත් ගත්තේ නම් නෑ... මගේ බිත්තිය කියවන හුදී ජනයාගේ හිත සුව පිණිස මගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" පොතේ පිටපත් 15ක් පමණ ආරිය ප්‍රකාශකයෝ සහ තාරා ප්‍රකශන වෙත ලබා දුන්නා. මං ගැන අනුකම්පාවෙන් එම ප්‍රකාශන සමාගම් දෙක එම පොත් ලබා ගැනීම ගැන මාගේ ස්තූතිය. ඔවුන්ගේ කුටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ඇති තාවකාලික ගොඩ නැඟිල්ල තුළ තමා තියෙන්නෙ. හරියටම කිව්වොත් M.D ගුණසේන සමාගමේ කුටියට කෙලින් ම ඉස්සරහ තියෙන කුටිය තමා ආරිය ප්‍රකාශකයෝ. ගිය වෙලාවක නිකමට වගේ බලන්න. පොත ටිකක් පරණ වෙලා දැන්. ඉතින් කඩ ඇතුලෙදිත් සලකන්නේ කුඩම්මා තමා. ටිකක් හොයල තමා හොයාගන්න වෙන්නෙ.

Saturday, September 18, 2010

කියන දේ ඇසීම...

වැඩිහිටියෝ කියන දේ අහන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් අපිට උගන්නන දෙයක් නේ... ඕක හරියට කරන්නෙ අපි කීයෙන් කී දෙනා ද? කියන දේ ඇසිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ වැඩිහිටියගෙ ස්වභාවය අනුව කියල තමයි මම නම් හිතන්නේ...

එක එක වැඩිහිටියෝ එක එක විදියනේ... තමන්ට අවංකවම ආදරෙන් තමන් ගේ සතුටට දියුණුවට අවවාද අනුශාසනා දෙන අය ඉන්නේ බොහෝම කලාතුරකින්... අම්මා තාත්තා කවදාවත් දරුවන්ට වැරදි අවවාද දෙන්නේ නෑ... ඒ අයගේ දැනුම් තේරුම් කම් අනුව ඒ අය දෙන අවවාද සමහර වෙලාවට අපිට පිළිගන්න බැරි වෙන්න පුළුවන් නමුත් එයාලා එහෙම කරන්නේ සැබෑවටම ආදරෙන් සහ අවංක සිතින්. වඩා වැදගත් වෙන්නේ අන්න ඒ අවංක කමයි ආදරයයි.

අම්මා තාත්තා ඇරුනහම අපිට ආදරෙන් අවංකව උපදෙස් දෙන අය ඉන්නවා හැබැයි ඒ උපදෙස් බොහෝ වෙලාවට එක දැක්මක් මත පදනම් කරගෙන විතරයි එයාල දෙන්නෙ.. උදාහරණෙකට ජොබ් එකක් ගැන උපදෙස් ගන්න කොට ගොඩක් වෙලාවට අම්මල තාත්තල කියන්නෙ කරදරයක් අමාරුවක් නැතුව පාඩුවෙ කරන්න පුළුවන් ජොබ් එකක් හොයා ගන්න කියල ඒක තමා ජොබ් එකක් කරන ඕනෑම මනුස්සයෙකුගේ හිත ඇතුලේ තියෙන එකම බලාපොරොත්තුව. නමුත් ඔය උපදේසේ වෙනත් වැඩිහිටියෙක් ඒ කිව්වේ අයියා,අක්කා,මාමා,නැන්දා,ගුරුවරු.. ඊ.ටී.සී... ඊ.ටී.සී... දෙන්නේ සමාජ සම්මත මත අනුව. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න නම් මේවගේ එකක් තමා කරන්න ඕනේ... ඔයවගේ ජොබ් කවුරුත් ගනන් ගන්නෙ නෑ.. ඕව කරල තැනකට එන්න අමාරුයි... ඕව නේ.

ජීවිතේ ගැන එක එක්කෙනාගේ අවබෝධයේ වෙනස ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද අපි තාම ජීවීතේ හරියට තේරුම් අරගෙන නැති නිසා. ගොඩක් වෙලාවට අපි ඒ ඒ අයව තේරුම් ගන්න හදන්නේ එයාල භෞතිකව ලබාගෙන තියෙන දේ අනුව. එයාලගේ අභ්‍යන්තරය අපිට පේන්නේ නෑ.. එයාල අපිට ඒක පෙන්නන්නෙත් නෑ.

හැබැයි අපි ඇතුලත් පිටත් දෙකම හොඳට දන්න දෙන්නා තමයි අපේ අම්මයි තාත්තයි. මොකද එයාලට අපිට හංගන්න දෙයක් නෑ. අපිත් එක්ක උදේ හවස ජීවත් වෙන අපේ දුකට සැපට ඉන්න අය තරම් අපිට හරි යන දේ වෙන කාටවත් තේරුම් ගන්න බැහැ. අම්මල තාත්තල දෙන උපදෙස් අපේ සමාජ ජීවිතයට හරිම යන එක නොවෙන්න පුළුවන් මොකද එයාල අපේ වයසෙදි ජීවත් වෙච්ච සමාජෙයි දැන් සමාජෙයි හෙනම වෙනස් නිසා. නමුත් එයාලා ඒ දෙන අවවාද අපේ පුද්ගලික ජීවිතේට හරියටම හරි යනවා.

මේ මම මගේ 29 අවුරුද්දක් තිස්සේ ජීවත් වෙච්ච කාලේ තුළ ජීවිතෙන් ඉගෙන ගත්ත පාඩමක්.

හරි දැන් කියන්නම් මේ තකහනියේ මට මේ වගේ තවුසන්ඩ් ටෝක් එකක් දාන්න හිතුන කාරණේ..
මම මේ දැන් තමා The Sixth Sense බලල ඉවර කලේ. ඉස්සර ඉඳන් බලන්න හිටපු ෆිල්ම් එකක් වුණාට අද තමා බැලුවේ. අපේ Sixth Sense එක ගොඩක් වෙලාවට අපිට හරිම යන දේ අපිට කියනවා නමුත් අපි ඒක අහන්නේ නෑ. අපේ උපතින්ම තියෙන Sixth Sense එක සමාජ සම්මත විසින් යටකරන කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ. තාවකාලිකව ඒ සමාජ සම්මත දිනනවා නමුත් අවසානයේ සැබෑ දිනුම පැරදුම තීරණය වෙන්නේ අපි කොච්චරක් දුරට අපේ Sixth Sense එක කියන දේ පිළිගන්නව ද නැද්ද කියන එක අනුව.

මේ ෆිල්ම් එකේ ඔහොම කතාවක් නෑ. මේක ඉන්න පුංවි ළමය මම වුණා නම් කොහොම ද කියල නිකමට වගේ හිතුවා. හික් හික්..

හරි, මම තාමත් ආසන්නතම හේතුව කිව්වේ නෑ..

මම පහුගිය අවුරුදු 2-3 ඒ කිව්වේ 2006-2009 වගේ කාලේ කරපු වැදගත්ම දේ තමා භාවනාව,ආධ්‍යාත්මික ජීවිතය, ජීවිතයේ සැබෑ හරය.. ඊ.ටී.සී...ඊ.ටී.සී හොයපු එක. (ඒව හොයන්න ගිහින් ඉතින් ඔය වෙන වෙන දේවල් කර ගන්න එක ටිකක් අතපසු වුණා... මේ දවස් වල ඒ අතපසු වීම් වලට වන්දි ගෙවනවා හී හී..) ඒ.එස් බාලසූරිය මහත්තයා, විජේසිංහ මහත්තයා,රත්නායක මහත්තය එක්ක හැම මාසෙකට දවසක් සම්පූර්ණයෙන් භාවනාව සහ ගැඹුරු අභිධර්මය ගැන ගම්පහ වතුරුගම පාරේ තියෙන සනාතන ධර්ම මධ්‍යස්තානේ ඉඳන් කරපු සාකච්චා මගේ ජීවිතේ මාර විදියට වෙනස් කලා.

ඔය සාකච්චා වලදි මුල්ම දවස් වල අපිට හෙනටම අල්ලලා ගියේ (අපි කිව්වේ මමයි අක්කයි අක්කගේ අයියා (මචා)) භූතයෝ සහ දෙවියෝ ගැන ඉගෙන ගත්ත දේවල්... කොහොම ද භූත කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමා අපිට ඒ දවස් වල තිබ්බ එකම උණ. හික් හික්... බාලසූරිය මහත්තයා බොහෝම ලස්සනට අපිට අභිධර්මය කියල දෙන අතරේ එතුමාගේ අත්දැකීම් එහෙම කියනවා. ඒ කියන්නේ භාවනාවේ එක් එක් අවදි වලදි මුහුණ දෙන්න වෙන දේවල් ගැන. අපි ඉතින් හාර හාර අහනව ඔය භූත කතා. බාලසූරිය මහත්තයා ගොඩක් වෙලාවට ඒව අපිට කිව්වේ බොහෝම පරිස්සමින්...

අපිත් අරීන්නේ නෑ හැමදාම කොහොම හරි කතාව භූත පැත්තට හරවනවා..

ඔන්න ඔහොම කතා කර කර ඉන්න දවසක බාලසූරිය මහත්තයා කිව්වා.. භාවනාව දිගටම කරගෙන ගිහින් හිත හොඳට පුහුණු වෙනකොට ඔය දේවල් නිකන් ම දැනෙන්න පටන් ගනියි එතකම් ඒවට උත්සාහ කරන්න එපා ඒවා එච්චර හොඳ නෑ කියල... ඒවා හොඳ නැත්තේ මොකද කියන එක අද මට මේ ෆිල්ම් එක බලනකොට හොඳට තේරුණා.

වැඩිහිටියෙක් දෙයක් කිව්වහම අහන එකේ වැදගත් කම ගැන පොර ටෝක් එකක් දාන්න ඕනේ කියල හිතුණේ එතකොට. නැත්නම් මෙලහට තොවිල් නටල මළ කෙලියක් වෙන්න තිබ්බා නේද කියල හිතුණා.

Friday, September 10, 2010

උදෙන් ම වැඩට ඒම

අද මම 7.29 ට ඔෆිස් එකට ආවා. අද නිවාඩු දාන්න හිතාගෙන ඊයේ ගෙදර ගියේ හැබැයි අන්තිමට උදෙන් ම වැඩ. සුවර් එකට 1/2 ඩේ එකක් වත් දාන්න නම් ඕනේ අද. අද නිකන් වැඩ කරන්න හිතෙන්නෙ නෑ වගේ... (ගොඩක් දවස්වලට ඉතින් එහෙමනේ)

උදෙන් ම වැඩට එන එක හොඳ ද නරක ද?

මම හිතන්නේ ජීවිතේ සාර්ථක වෙන්න නම් උදේම අවදි වෙන එක වැදගත්. උදේම වැඩට එන එක සාර්ථක වෙන්න හේතුවක් ද කියල නම් මට ෂුවර් නෑ... මොකද මම අද ආපු වෙලාවෙ ඉඳල කළේ බ්ලොග් බලන එක.
හැබැයි වැඩ පටන් ගන්න විනාඩි 15කට විතර කලින් එන එක නම් වැදගත්. මම හැමදාම එන්නෙ වැඩ පටන් අරන් විනාඩි 15කට පස්සෙ නේ... ඒකත් ඉතින් අවුලක් ම නෑ.. පඩිය පොඩ්ඩක් අඩු වෙන එක විතරයි එකම පාඩුව. 

ඊයේ මගේ බෝත්ඩේ එක. අද උදෙන් ම වැඩට ආවා... මම හිතන්නේ මට උදෙන් ම වැඩ කරන්න පටන් ගන්න කල වයස දැන් තමා හරි ගිහින් තියෙන්නෙ... එකම අවුල හෙට සැටඩේ වීම තමා... හෙට උදෙන් ම නැගිටින එක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්...

කොහොම වුණත් ඉස්සරහට ටිකක් උදෙන් ම නැඟිටල වැඩක් පලක් කරල ටිකක් පිළිවෙලට ඉන්න ඕනේ... මේ තියෙන වැඩ ටික කරගන්න එහෙම නැතුව බැහැනේ හැබෑටම...

Tuesday, September 07, 2010

Object Oriented වඩුවා යනු...

An “object oriented” carpenter would be mostly concerned with the chair he was building, and secondarily with the tools used to make it; a “non-OO” carpenter would think primarily of his tools.

උපුටා ගැනීම

ජේම්ස් ගොස්ලින් ගේ ජාවා පිළිබඳ හැඳින්වීම - 1995

Friday, August 27, 2010

Sunday, August 22, 2010

ඒ හුස්ම නොවැටුණි.

අප සැවොම බලා සිටි ඒ එක හුස්ම නොවැටුණි...
ජීවිතයේ කෙටි කලක් අප සමඟ සිට හදා ගත් පුංචි ලෝකයත් සමඟ අප අතැර ගිය බුද්ධික මල්ලියාට නිවන් සුව...

Monday, August 16, 2010

එක හුස්මක් වැටෙන තුරු...

ජීවිතේ අස්ථීර කම කොච්චර ද කියන එක කවදා හරි අත්විඳල තියෙනව ද? අපි හැමෝම දන්නවා මේ ජීවිතේ ස්ථීර නෑ කියන එක. හැබැයි තමන්ටම ඒක අත්විඳින්න ලැබෙන කම් ඒක මොනවගේ ද කියල හරියටම තේරුම් යන්නෙ නෑ.

මගේ නෑදෑ අක්ක කෙනෙකුගේ එකම පුතා

අපූරූ දරුවෙක් වයස 15-16 විතර, කඩිසර , දක්ෂ , ටෙකී , උනන්දු , කටකාර , පවුලේ හුරතලා වෙච්ච බොහෝම පැහැබර අනාගතයක් තියෙන කොල්ලෙක් කියල බය නැතුව කියන්න පුළුවන්.

දැන් ඉන්නෙ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.

කොළුකමට නැගපු ගසකින් වැටී මොළයට සිදුවූ දරුණු තුවාල නිසා ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේත්....

වෛද්‍යවරු කියන්නේ බලාපොරොත්තු තියාගන්න එපා කියලා. එයාට තනිවම එක හුස්මක් ගන්න පුළුවන් වුණොත් අපිට මොනවහරි කරන්න පුළුවන් කියන එක.

අපි හැමෝම ඒ එක හුස්ම වැටෙන තුරු බලාගෙන ඉන්නවා.

Friday, August 06, 2010

අපි, අපි නොවුනොත්

මම කාලෙකට පස්සේ ඔළුවට දැනෙන ෆිල්ම් එකක් බැලුවා. මේ ෆිල්ම් එක බලපු අය දන්නවා ඇති කොහොමද කියලා.
එකම දේ බලල ඉවර වුණහම මට මාවත් ෂුවර් නැතිව ගියා. මේකේ තියෙන මනෝ විද්‍යාත්මක පැත්ත ගැන හිතල බැලුවහම ඇත්තටම බය හිතෙනවා.
මිනිස් සිත සහ මොළය කොච්චර සංකීර්ණ සහ භයානක ද කියන එක නියමෙට පැහැදිලි වෙනවා.‍

මේ තියෙන්නෙ ෆිල්ම් එක
Shutter Island

ඇත්ත මොකක් ද මායාව මොකක් ද... තාමත් නිකන් අවුල් වගේ

කොහොම හරි ඊයේ ෆිල්ම් එක බලල ඉවර වෙලා යථා තත්වෙට පත්වෙන්න මම සරල කෙටි කතා පොතක් ම කියෙව්වා.
පොතේ නම "මිනිහට නින්ද යන්න ඇති" කර්තෘ ජයලත් මනෝරත්න.

හොල්මන් වෙලා අවුල් වෙච්ච ඔළුවට අපේ රටේ මිනිස්සුන්ගේ සරල දිවි පැවැත්ම සහ තියෙන පුංචි පුංචි ජීවන ගැටළු ටික ආයෙත් දාගත්තට පස්සෙ තමා ටිකක් හරි ගියේ.

Monday, August 02, 2010

සරුංගල් කාලේ ඇවිල්ලා

අද මම කාලෙකට පස්සෙ ඉරිදා හවස් වරුව ගෙදර හිටියා.
හවස 4 විතරට විතර අපේ අක්කගේ පුතා ඇවිත් කියනවා අන්න අඹ ගහේ සරුංගලයක් තියෙනවා කියලා.
ඒ වෙලාවෙත් කොම්පියුටරේ කොට කොට හිටිය මට නිකමට ගිහින් බලන්න හිතුණා.. පිටිපස්සෙ ගෙදර ආන්ජලෝ මල්ලි (මල්ලි කිව්වට හරි විදියට පුතා) තමයි දැකල තියෙන්නෙ.
මටත් හරි ජොලියක් ගියා දැක්කම... අඹ ගහට නගින හැටි අපි කරපු කෝස් සහ උපාධි එකක වත් හරියට උගන්නපු නැති නිසා කෙක්කක් හොයාගෙන වැඩේට බැස්සා. අපරාදේ කියන්න බෑ ආන්ජලෝත් මටම හරි යනවා ගස් නගින්න බැහැ... මොඩර්න් කොල්ලො නේ.

1. අඹ ගහ මුදුනේ ඇති සරුංගලය
 2. සරුංගලය සොයා ඇදෙන කෙක්ක
3. කෙක්ක සහ සරුංගලය ගැටීමට මොහොතකට පෙර
 4. ජයග්‍රහණය ලබා ගත් කෙක්ක
 5. දරුණු ලෙස හානියට පත් සරුංගලය
 6.කෙක්කෙන් වැඩ පෙන්වන ආන්ජලෝ
 7.සරුංගලය බිමට එනතෙක් ඉවසිල්ලක් නැති රිසිඳු වා
 7.හෙන කාලෙකින් ශිල්ප දක්වන මම
 8.රිසිඳුගේ අධික උනන්දුව (මෙය පැවතියේ 5ට බෙන් ටෙන් පටන් ගන්නා තෙක් පමණි)
 9.සුපුරුදු ලෙස කරේ නඟිමින්
 10. බූරු ඇඳ දිග ඇරගත් මම සහ හැමවිටම අයියාව අනුගමනය කරන බීනු
 11.අයියා සහ නංඟී සූදානමින්
 12. පොඩි වුන්ගේ සැබෑ සතුට
 13.රිසිඳුගේ සැන්දෑව
 14.ජීවිතයේ ලස්සන
ඔන්න ඔහොමයි අද හවස් වරුව ගෙවිල ගියේ...

Friday, July 30, 2010

කොහොම පටන් ගෙන මොනව ලියන්න ද?

කොහොම පටන් ගෙන මොනව ලියන්න ද?
මේ වගේ වෙලාවල් මට විතරක් නෙවෙයි ඉතින් මිල්ටන් මහත්තයටත් ඉස්සර තියෙන්නෙ ඇති...
උදේ හවස විතරක් මදි එකද මන් ද හේතුව... එකසිය ගානට වැඩ වත් තිබ්බනම් කොහොම හරි පටන් ගෙන මොනව හරි කරන්න තිබ්බා...

Thursday, July 22, 2010

එක විභාගයක් ඉවරාආආආආආආආආආයි

කරන්න හිතන් හිටපු විභාගෙ කරන්න පාඩම් කරනකොට වෙන විභාගයක් සැට් උණා. ඒක ගොඩ දැම්මා.  දැන් අර මුල් විභාගේ දින නියමයක් නැතුව කල් ගියා.
 මේ දවස් වල ලබල තියෙන්නේ මොන ජාතියේ යෝගයක් ද කියල හිතාගන්න බැරුව ඉන්නේ... කොහෙන් කෙලවර වෙයි ද දන්නෑ.
තව මොන මොන ජාති කරන්න වෙයි ද දන්නෙ නෑ... අයිස් ගගහා අවුරුදු ගානක් හිටපු එකට පොළිත් එක්ක ගෙවන්න වෙලා වගේ දැන්නම්...

Thursday, July 08, 2010

විභාග වලට පාඩම් කිරීම

මම අවුරුදු බර ගානකට පස්සෙ විභාගෙකට පාඩම් කරන්න ගත්තා.

හරි ජොලි වැඩේ නේද...? ඔහේ පොත හරි පීඩීඑෆ් එක හරි දිහා බලාගෙන ඉන්න එකනේ තියෙන්නෙ.  පාඩම් කරන එක තරම් ෆන් වැඩක් වෙන කොහෙවත් නැතුව ඇති. අනිත් එක පාඩම් කරනවට පඩි ගෙවන ඔෆිස් එකක වැඩ කරන එක... ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ වගේ කොම් පැණි.

එකම අවුල කිසි දෙයක් ඔළුවට යන්නෙ නැති එක විතරයි. නැත්නම් අනිත් ඔක්කෝම එල කිරි වගේ.

ඔළුවට එන්නෙම වෙන වෙන දේවල් නේ. මම හිතන්නේ වයසේ වැරැද්දද කොහෙද

විභාගේ පාස් වුණහම ලොකූඌඌඌඌඌඌඌඌ තැනකට යන්න පුළුවන් කියල හිතාගෙන ඒ තැනට ගියහම ඔක්කෝම ප්‍රශ්න ටික විසඳෙනවනේ කියල හිතාගෙන හිත එක තැනකට ගන්න මේ හදන්නේ.
හිත පොතට ගන්න කලින් මේක මේ ලියල දැම්මේ.  ජූලි මාසෙටම එකක් වත් ලියන්න බැරි වෙච්ච නිසා

Wednesday, June 30, 2010

මගේ ඇඩ්සෙන්ස් ආදායම - ඇඩ්සෙන්ස් වලටත් බද්දක් එයි ද?

මේ තියෙන්නෙ මගේ සිංහල බ්ලොග් එක නිසා පසු ගිය අවුරුදු 4 තුළ මම හම්බ කරපු දේ තමා.

ඇමරිකානු ඩොලර් 13.51 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 1540.14

මේ බ්ලොග් එකේ තියෙන්නෙ එකම එක ගූග්ල් ඇඩ් එකයි. ඒකෙත් හැමදාම යන්නෙ මහජන සේවා දැන්වීම්. මම ඉතින් මහජන සේවා අතර තුරේ ඉඳල හිටල එන ඇඩ්ස් ටික ක්ලික් කරගෙන සර්ච් බාර් එකෙන් මොකක් හරි සර්ච් කරල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල තමා මේ ගාන හොයා ගත්තේ.

මේ යන වේගෙන් ගියොත් මට 2025 විතර ගූග්ල් එකෙන් චැක් එකක් ගන්න පුළුවන් වෙයි නේද?

කොහොම වුණත් කට්ටියගේ අනුමාන සෑහෙන්න දුරට හරි නේද? හික් හික්.. සිංහලෙන් ඇඩ් දාන කොම්පැණියක් දාමුද අපි කට්ටියවත් එකතු වෙලා... කාට කාටත් හොඳයි නේ.

Tuesday, June 29, 2010

ඇඩ්සෙන්ස් ආදායම සහ විසිට්

මම ගූග්ල් ඇනලයිටික්ස් බ්ලොග් එකට දැම්මේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඒ වෙනකම් කී දෙනෙක් මේක බැලුව ද කියල දැන ගන්න විදියක් නෑ. එදා ඉඳල අද වෙනකම් බලපු ගාන ගැන හිතපුවහම මගේ බ්ලොග් කෙරුවාව ගැන සතුටු වෙන්න පුළුවන්.

මට මේකේ මොකක් හරි ලියන්න හිතෙන්නේ වෙන මොකුත්ම හිතෙන්නෙ නැති වෙලාවටනේ. එහෙම වෙලාවල් වලදිත් මේකේ ලියන්න තරම් දෙයක් ඔළුවට එනව කියන්නේ අර කව්ද මොකක් ද එකකින් කොහෙද බැලුව වගේ කලාතුරකින් සිද්ද වෙන දෙයක් නේ.

බ්ලොග් එකේ විසිට් ගාන සහ ආදායම ගැන හිතල වැඩක් නෑ. මොකද මේ ආදායම තනිකරම මම විසින් මගේ ඇඩ් ක්ලික් කර ගැනීමෙන් (ගූග්ල්ට හොරෙන්) ලබා ගත් එකක් කියල මගේ පිවිතුරු හදවත දන්නවනේ.

Monday, June 28, 2010

මගේ ඇඩ්සෙන්ස් ආදායම

මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2006 දී. ගූග්ල් ඇඩ්සෙන්ස් ගැන මම දැන ගත්තේ මට මතක විදියට 2004 දි නැත්නම් 2005 දි. මම ඇඩ්සෙන්ස් කියන සංකල්පය ඇත්තක් කියල දැනා ගත්තේ 2007 දි. බ්ලොග් එකට ඇඩ්සෙන්ස් කෝඩ් කෑල්ල දැම්මේ 2007 මාර්තු 16 (මේක මේ අද ඇඩ්සෙන්ස් රිපෝර්ට් බලනකොට දැක්කෙ.)

මේ වෙනකොට මම ඇඩ්සෙන්ස් වලින් කීයක් විතර උපයල ඇති කියල ද හිතන්නේ?
සාමාන්‍යයෙන් අවුරුදු 4ක් බ්ලොග් ලියපු කෙනෙක් කොච්චරක් විතර ආදායමක් උපයනව ඇති ද?
අපි ඉතින් සුද්දම සිංහලෙන් බ්ලොග් ලියන නිසා ආදායම සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නේ.

නිකමට තම තමන් බ්ලොග් වලින් උපයපු ආදායම් ගැන හිතල මම මේ වෙනකොට උපයපු ආදායම අනුමාන කරන්න කාට හරි පුළුවන් ද?

හරි උත්තරය දුන්න කෙනාට වටිනා තෑග්ගක් නම් දෙන්නෙ නෑ... නමුත් සිංහල බ්ලොග් ලිවීමේ වටිනාකම ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

මගේ ආදායම ඊළඟ පෝස්ට් එකේ දාන්නම්... දවස් දෙක තුනකින්

Sunday, June 20, 2010

මම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීමට තීරණය කළෙමි.

මට එදා සිටම ක්‍රිකට් බැරිය.
හැමදාම කොල්ලන්ගෙන් බැනුම් අසන්නේ "බෝලේ දිහා බලල ගහපන් බන් " යනුවෙනි. කොපමණ වැනුවත් වදින්නේ හෙනම කලාතුරකිනි. බෝලයේ කුඩා බව හෝ පිත්තේ කෙට්ටු බව හෝ විකට්(පොල්පිති,කැඩුණු පුටු,ලෑලී,මහත ටින් බෙලෙක්ක) ආදියේ පළල් බව යන හේතු කිහිපය හෝ එකක් හෝ නිසා මම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට (0<=5) බොහෝ අවස්ථාවල දැවී යයි. උන් මාව සෙල්ලමට ගන්නේ බොහෝවිට පැති දෙක බැලන්ස් කරගැනීමට අවශ්‍ය නිසා හෝ හරියට ලකුණු ටික ගැන ගැනීමට ඕනෑ බැවිනි.

වැඩිපුර ක්‍රිකට් සහ අඩුවෙන් ෆුට්බෝල් ගැසූ නිසා ෆුට්බෝල් වලදී මම එතරම් බැනුම් අසා නැත. කල්පනා කර බැලීමේදී මම ෆුට්බෝල් වලදී අපේ කොල්ලන් සැට් එකට අත්‍යාවශ්‍ය වූ අවස්ථා කිහිපයක් මතකයට නැගේ...
නමුත් එය එතරම් වැදගත් නොවූයේ අපිට ෆුට්බෝල් උණ හැදෙන්නේ වර්ල්ඩ් කප් අවස්ථා වලදී පමණක් වීම නිසාය. අනිත් හැමදිනම ක්‍රිකට් පමණකි.

මගේ ක්‍රිකට් උණ 96 වර්ල්ඩ් කප් එකත් සමඟම අවසන් වී ගියේය. අවංකවම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා වත් මම දන්නේ නැත... වර්ල්ඩ් කප් ෆයිනල් එකකට ලංකාව ආවොත් එදාට මැච් එක බලනවා මිස අනිත් වෙලාවට මැව් බැලීම වස කම්මැලි වැඩකි.

 වැරදිලාවත් කොල්ලෙක් මැච් එකට මොකද බන් වුණේ (මං ගැන නොදන්න එකෙක්) යැයි ඇසුවහොත් "අනේ උඹ... අනේ තෝ... " ආදියෙන් පටන් ගෙන වෙන එකෙකුගෙන් අවසන් වෙන සාකච්ඡාවක් බවට පත් වෙයි.

ෆුට් බෝල් යනු අතිශය සරල ක්‍රීඩාවක් ලෙස මම දකින නිසා සහ පැය 1.5 කින් දෙකෙන් එකක් වන නිසා ෆුට්බෝල් වලට කැමති වීම සාධාරණ ලෙස මට පෙනෙයි.
ඉස්සර මැරඩෝනා ගැන හෙන උණක් තිබීම නිසා සහ මෙවර ආජන්ටිනානූ කණ්ඩායමේ පුහුණු කරු මැරඩෝනා වීම නිසා මෙම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීම අදහස මට පහුගිය දිනවල ඇතිවී තිබිණි.. අද හයිලයිට්ස් බල බල ඉන්න වෙලාවේ වැඩේ ස්ථීර කර ගත්තා.

කොල්ලෙක් වුණහම එක ක්‍රීඩාවක වත් පිස්සෙක් විය යුතු බව දැන් ටිකකට කලින් හිතුන නිසා මේ අදහස ආවා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් බෝලයක් පසුපස එලවා ගෙන ගොස් දැලකට ගැසීම වැනි සරල මූලධර්මයක් සහිත ක්‍රීඩාවක ෆෑන් කෙනෙක් වීම අතිශය බුද්ධිමත් තීරණයක් බව මම සිතමි.

කැමරූන් සහ ඩෙන්මාර්කය අතර මේ දැන් පටන් ගැනීමට සැරසෙන මහා තරඟයත් සම්ඟ මගේ ෆුට්බෝල් ගමන පටන් ගැනීම (ජූලි 11 වන තෙක්) මෙසේ සටහන් කරමි.

ප.ලි.
DO IT FOR AFRICA යන බැනර් එක දැක අප්‍රිකාව කෙරෙහි ඇති වූ පහන් සංවේගය නිසා මම කැමරූන් පිලට සපෝර්ට් කිරීමට මේ දැන් තීරණය කළෙමි.

මැච් එක ඉවර වෙන්න කලින් නින්ද ගියොත් කරුණාකර සමාවන්න.

HERE WE GO....

Friday, June 18, 2010

ලංකාවේ IT කොම්පැණි

මේක ලොකු කතාවක්... කියන්න තියෙන සුදුසුකම් ගැන අහන්න එපා.. හිතෙන දේ කියන්නෙ... බක පණ්ඩිත කතාවක් විදියට මට වඩා අවබෝධයක් තියෙන අයට පෙනෙයි.

ලංකාවට බනින්න මම කවදාවත් කැමති නෑ... හැබැයි මම හෙන දේශප්‍රේමියෙකුත් නෙවෙයි. පරිගණක තාක්ෂණයට ලැදි ගොඩක් අය අතරේ ඉන්න තවත් කෙනෙක් විදියට අපි කරන රැකියාව ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා...

ලංකාවේ තියෙන වැදගත් සම්පත් ගොඩක් අතරින් මූලික තැනක් ගන්නේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම... ඒක සෑහෙන්න ඉහළ තැනක තියෙනවා කියල අපිට සතුටු වෙන්න පුළුවන්. (කොයිදේත් බැලන්ස් වෙන්න ඕනේ නිසා බුද්ධියත් ඉතින් එක එක විදියට බැලන්ස් වෙලා තියෙනවා... ඒව ඉතින් හැමෝම දන්නවනේ)

ඔය ඉන්න බුද්ධිමත් මිනිසුන් ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ඉතා අඩු ශ්‍රමයකින් අතිශය වැඩි වටිනාකමක් ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමා මේ මෘදුකාංග සංවර්ධනය.

මම මහා ලොකු කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා නෑ... නමුත් හිටපු අවුරුදු 5-6 අතරේ දැක්ක දෙයක් තමා අපි ගොඩාක් කරන්නේ තාක්ෂණික වහළුන් ලෙස වැඩ කරන එක...

මේක හෙන පටු අදහසක් තමයි. මොකද තාක්ෂණයට සීමා මායිම් නැති නිසා... ලෝකය හතර වටෙන් ම ලින්ක් වෙලා තියෙන නිසා මේක හෙන යල්පැන ගිය අදහසක් වගේ තමා. හැබැයි තියෙන ප්‍රශ්නය ඔය ලින්ක් වෙලා තියෙන ලෝකය ඔය විදියට ලින්ක් කරන්න අපි මොනවද කළේ කියන එක. මේක අපේ දෙයක්.. මේක හැදුවේ අපි... අපෙන් ලයිසන් අරගෙන මෙන්න මේ කොන්දේසි වලට යටත් වෙලා (ක්‍රැක් සහ හැක් නිසා මේක තේරුමක් නෑ) මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්පාදනයක් අපෙන් එළියට නොයන්නෙ ඇයි..

ඕක මට ඉස්සර ඉදල තියෙන ප්‍රශ්නයක් (මමත් ඉතින් ඔය කිව්වට ඕක වෙනස් කරන්න දගලන්නෙ නෑ...) ඉදල හිටල ලොකු කතා කියන්න ඕනේ නිසා මේ කියන්නෙ.

 මම දකින්නේ එහෙම එක ප්‍රඩක්ට් එකක් හදන්න තරම් ඉවසීමක් අපේ තාක්ෂණික ලෝකේ ඉන්න ව්‍යවසායකයින්ට නැහැ කියල... ඉවසීම සහ හැකියාව තියෙන බුද්ධිමතුන් ඉන්නවා...

අපි හැමෝම දන්නවා කොහේ හරි රටක ඉන්න සුද්දෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් සෙට් කර ගත්තනම් කිසි කරදරයක් නැතුව ඉලක්කම් 6-7 ක පඩියක් අරගෙන ලංකාවේ සැපට ඉන්න පුළුවන්. හැබැයි ඉතින් සුද්ද එහෙ කඩේ වහපු දාට සොරි.කොම්.

සුද්ද මත යැපෙන්න වෙනවා. මොකද මේ තාක්ෂණේ මෙච්චර දුරට ගෙනාවේ ඒ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුම කැමති කෙනෙකුට තනියම ගොඩ යන්නත් පුළුවන් විදියට ඒක හදල තියෙනවා. එච්චර දෙයක් කරල දුන්නට පස්සෙ බනින එකත් කැත වැඩේ තමා.

ලොකු කතා කිව්වට අපි හැමෝටම ඕනේ සල්ලි.. සල්ලිවල මේක අපේ මේක සුද්දගේ කියල ගහල නැති නිසා කොහෙන් හම්බවුණාම මොකෝ කියල වැල යන විදියට මැස්ස ගහන එක තමයි අපි කරන්නෙ.. ඒකෙ වරදකුත් නෑ.

 හැබැයි ටික කාලයක් ඉවසල, එක අරමුණකින් නව අදහසක් දියුණු කරන්න අපිට පුළුවන් නම් (නව අදහසක් වෙන්න ඕනේ නෑ... මිනිස්සුන්ට වැඩක් තියෙන එක නිශ්පාදනයක්) කරගන්න අපිට පුළුවන් නම් අපේ මේ ඉන්න කෝටි 2කේ ජනතාවට ලොකු සෙතක් කරන්න පුළුවන් වෙයි..

මට මේක ලියන්න හිතුණේ මේ දවස් වල අත්දකින සමහර දේවල් නිසා... සතෙන් සතේ... රුපියලෙන් රුපියල එකතු කරන්න ගිහින් ඇන ගන්න හැටි දැක්කහම අපි ගැනම දුකයි... කස්ටර්මර්ව /එම්ප්ලොයීව කොහොම හරි තියාගන්න ඕනේ කියල කරන සීනී බෝල වැඩ... මිනිහෙක් ගේ හිත සතුටු කරල ඒ මනුස්සය ස්ව කැමැත්තෙන් ඉන්න තත්වෙට පත් නොකර කැරට් අල පෙන්න පෙන්න අර බුද්ධිමත් යැයි සම්මත වුණ මිනිස්සුන්ගෙන් ලාබ වැඩ කරව ගන්න එක නතර කරන්න බැරි කම...කැපවීම සහ අවංක කම කියන සරල දේ තේරුම් නොගෙන හෙන මොඩර්න් කොන්සෙප්ට් දාන්නට ගොස් ඇණ ගැනීම...

ඔන්න ඔය වගේ දේවල් ටික අපේ මේ කොම්පුටර් ලෝකෙන් ගලව ගන්න පුළුවන් උණා නම් ටොම්කැට්  වගේ පිස්සු පූසෙක්,ජේ බොස් වගේ ශ්‍රී බොස් කෙනෙක්, ඩොට් නෙට් වගේ අපේ නෙට් එකක්.. අපිටම කියල මොකක් හරි ෆ්‍රේම් වර්ක් එකක්...  මූනුපොත වගේ හෝඩිපොතක් වත් හදා ගන්න අපිටත් පුළුවන් වෙයි.

තව කියන්න දේවල් ඔලුවට එනවා හැබැයි තේරුමක් නෑ... ලොකු කතා කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි... ඊයේ නිදා ගත්තේ කීයටද පැටියෝ කියල ඇහුවහම බොරු කියන්නත් බැරි නිසා දැන් ඇති.

Thursday, June 03, 2010

කාර් වල මිල අඩු වීම - පෙර සහ නව බදු

මේක දකිනකොට සමහර අයට දුක හිතෙයි. සමහර අයට සතුටු හිතෙයි.. ටැක්ස් වල හැටි ඔහොම තමා.
මේක මම හොරකම් කලේ මෙතනින්.


මේකට අනුව 30% විතර කාර් මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලු... ඉඳලම බලන්න වෙනවා ඉතින්...



Type

Previous Tax

New Tax

Diesel cars 412% 199%
Petrol cars below 1000CC 186% 110%
Petrol cars 1000-1500CC 217% 136%
Petrol cars 1500-1600CC 217% 136%
Petrol cars 1600-2000CC 290% 166%