Tuesday, June 28, 2016

කැප්ටන් නෙමෝ දුටු ඉන්දියානු සාගර පතුල

                  ඊයෙ ජුල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයක් වෙච්ච ජිනේන්ද්‍රවංශ ද සිල්වා මහතා විසින් පරිවර්තනය කරපු මහ මුහුදේ ගව් 20000ක් යට පොත කියවල ඉවර කළා. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අර සුප්‍රසිද්ධ කැප්ටන් නෙමෝ සහ එයාගේ නෞටිලස් සබ්මැරින් එක තියෙන්නේ මේ පොතේ.. මරු කතාවක්.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත මම කලින් කියවල ඇති කියල.. මේ ඊයේ පෙරේදා ලංකාවට යද්දී ෆ්ලයිට් එකේදී කියවන්න කියල අරන් ගියේ.. කියවගෙන යද්දී තමයි තේරුනේ මේකේ තියෙන සිද්දි එහෙන් මෙහෙන් අහල තියෙනවා විතරයි කවදාවත් පොත කියවල නෑ කියල.. යන එන ගමන් ටිකක් කියෙව්වා.. ඊයේ හවස් වරුවේ ඉතිරි ටික කියවල ඉවර කළා..

කැප්ටන් නෙමෝ ඉන්න සහ නෞටිලස් තියෙන ෆිල්ම් එකකුත් තියෙනව. නම LXG (League of Extraordinary Gentlemen) ෆිල්ම් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන්.. ෆිල්ම් එකේ තව මරු චරිත ටිකක් ඉන්නවා.. Allan Quatermain, Professor James Moriarty, Mina Harker, Rodney Skinner හෙවත් අදිසි මිනිසා  වගේ මරු චරිත ටිකක් ඉන්නවා.. 

බැරිවෙලා හරි මේක කියවන කෙනෙක් Allan Quatermain ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ ශ්‍රීමත් රයිඩර් හැගාර්ඩ් ගේ King Solomon's Mines කෘතියේ ප්‍රධාන චරිතය. Professor James Moriarty කියන්නේ ෂර්ලොක්හෝම්ස් කතා මාලාවේ ඉන්න ප්‍රධානම දුෂ්ට චරිතේ.. මම වැඩිය එයා ගැන නම් දන්නේ නෑ.. Mina Harker කියන්නේ සුප්‍රසිද්ධ Dracula (ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල) පොතේ  ඉන්න කාන්තා චරිතය. අදිසි මිනිසා කියන්නේ H.G Wells ගේ The Invisible Man පොතේ ඉන්න අදිසි මිනිසා.

Mina Harker ගේ හස්බන්ඩ් තමයි Jonathan Harker. පොර තමයි දැතිහුලහ ගෙන් ගේම ඉල්ලන්නේ. Jonathan Harker එදා ගේම ඉල්ලන්නේ නැතුව නිකන් පොඩි කාමරයක් වගේ ඉල්ලගෙන ශේප් එකේ හිටියනම් දැතිහුලහ අදටත් ඉන්නවා.. Mina Harker ටත් ඔය ළමයෙක් දෙන්නෙක් හදාගෙන ගේ දොර වැඩ ටිකක් කරගෙන ඉන්න තිබුනා.. කොහෙද ඉතින් ගේම මනේ ඉල්ලුවේ.. (කොහොමත් ගෑනු ඉතින් ලොකු ගෙවල් වලට ආසයි නෙ.. නැද්ද හා)

මේ වගේ පෝස්ට් ලියද්දි දේවල් ඔළුවට එන විදියට අර ඔපිස් එකේ වැඩ කරනකොටත් අපේ ඔලු හරියට වැඩ කරනවානම් අම්මපල්ල මහින්ද නැතුව උනත් ලංකාව ආශ්චර්යමත් කරන්න පුළුවන් නේ.. කරුමේ කියන්නේ ඔළුව වැඩ කරන්නේ මේ වගේ ෆැන්ටසි ලෝක වලදී විතරයිනේ.. 

හරි දැන් ආයෙත් මේ කැප්ටන් නෙමෝ දැක්ක සාගර පතුල ගැන කිව්වොත් එහෙම.. පොර ඒවා බලන්න මුහුදේ ගිලුනේ මිනිහම හදපු නෞටිලස් සබ්මැරින් එකෙන් . අපි මේ කතා කියවල මනෝ ගහල බුදිය ගත්තට ඒ මනෝ ලෝකවලින් එලියට ඇවිල්ල වැඩ කරන සුද්දෝ පස්සේ කාලෙක හදපු මුල්ම න්‍යෂ්ටික සබ්මැරින් එකට නම තිබ්බේ නෞටිලස් කියල.   ඒ සබ්මැරින් එකක් ගැන හිතාගන්නවත් බැරි තරම් ඈත කාලෙක සබ්මැරින් සංකල්පය මේ තරම් අපුරු විදියට කතාවකට ගොතපු ජුල්ස් වර්න් ට උපහාරයක් විදියට.. කතාව කියවද්දී ඇත්තටම මාර සංකල්ප ටිකක් පොතේ තියෙනවා... මම හිතන්නේ තාමත් ඒ කතාවේ ලෙවල් එකට අපි ඇවිල්ල නෑ..

හරි ඉතින් දැන් ඔය කතාවේදී කැප්ටන් නෙමෝ දැක්ක මුහුදු පතුල මොකක් ද..

හෙහ් හෙහ් මේ බ්ලොග් ලෝකයේ මාතෘකාවට අදාල නැති පෝස්ට් එකක් ලියල පොඩි ආතල් එකක් ගන්න එක හරි ම සුලබ දෙයක්.. මමත් මේ ඒ වැඩේ කරන්නේ..  දැන් මම කැප්ටන් නෙමෝ ගැන පෝස්ට් එකක් ලියන්න කියලද.. පොර ගැන මම දන්නෙත් පොත කියවපු අනිත් උන් දන්න ටිකමයි.. ඉන්දියානු සාගර පතුල ගැන ඉතින් මොනවා ලියන්නද.. මම මේ ස්විමිං පුල් එකේ යාන්තම් හුස්ම තදකරන් පොඩ්ඩක් අත පය ගහන මනුස්සය වෙච්චි කොට.. සාගර පතුල් ගැන ලියන්න.. .. හෙහ් 

මොනවා උනත් මාතෘකාවක් දැම්ම නම් එකට අදාලව මොනවාම හරි ලියන්න ඕනේ.. වැල් බයිලා කොච්චර ලිව්වත් කමක් නෑ..  (තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල මම දන්නේ නෑ..)

මේ තියෙන්නේ ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන සාගර පතුල නේ



අපූරුයි නේද..මේක බුකියේ යාලුවෙක් දාල තිබ්බ ෆොටෝ එකක් මට දැක්ක ගමන් ආස හිතුනා..මොනවා හරි ලියන්න හිතද්දී තමයි කැප්ටන් නෙමෝ ඔළුවට ආවේ.. පොරත් මේවා දකින්න ඇති නේද කියල හිතුනා.. අනේ අර Jonathan Harker දැතිහුලහ ගෙන් ගේම ඉල්ලුව වගේ මේ කැප්ටන් නෙමෝ ටත් පොඩි මුලග්ගින්නක් තිබුනා මගේ හිතේ..මිනිහටත් එක විදියකට ඉන්න බැරි වුනානේ..ඔය පාඩුවේ සබ්මැරින් එක එලොගෙන හිටියනම් අදටත් ඉන්නවනේ..  NatGeo එකට ෆොටෝ ගහන රස්සාවක් අපුරුවට කරන්න තිබුනා.. යු ටියුබ් එකේ, බුකියේ හොඳට හිට් වෙන චරිතයක් මෙලහට හිටියනම්..
ඔය තියෙන්නේ කැප්ටන් නෙමෝ ඉන්දියානු සාගරය හරහා ලංකාවට ඇවිල්ල ලංකාවේ මුතු පර වල මුතු හොයද්දි ගත්තු පින්තුරයක් නෙවෙයි.. මේ 1967 ඔක්තෝම්බර් මාසේ National Geographic සඟරාවේ පලවෙච්ච පින්තුරයක්. කවුද මන්ද කෙනෙක් ඇඳපු මැප් එකක්..  ඔය මැප් එකේ උඩ හරිය බැලුවොත් පෙනෙයි නිකන් රොන් මඩ තැන්පත් වෙච්ච ගතියක්.. මේ ෆොටෝ එක දාල තිබුණු reddit එකේ පොඩි කතා බහක් තිබුනා ඔය ලංකාව පැත්තට වෙන්න තියෙන රොන් මඩ වගේ ටික ඔක්කොම හැදිලා තියෙන්නේ ඉන්දියාවේ ගංගා නම් ගඟ නිසා කියල.. බැලු බැල්මට එහෙම හිතෙනවා.. හැබැයි ඇත්තද බොරු ද දන්නේ නෑ..


මට ඉතින් ඕක දැකල මේක ලියන්න කලින් හිතුනා මේ මැප් එක ඇත්තද බොරු ද කියල හොයන්න.. එහෙම හොයද්දී  Nasa එකෙන් පල කරපු මේ පින්තුරේ හම්බ වුණා..




පොඩ් සමාන කම් ටිකක් තියෙනවා නේද..මුල් පින්තුරේතරම් ගතියක් නැති උනාට..

සාගර පතුල ගැන හොයන්න මම ආසයි බයයි.. ඒ කියන්නේ ඔය ගැඹුරු මුහුදට නම් මම බයයි.. අර කැමරන් කාරයා.. (ඉල්ලලා අස් වෙනවයි කිව්ව කැමරන් හාදය නෙවෙයි.. චිත්‍ර පටි හදන බුවා) කොහොම මරියානා ආගාදෙට බැස්ස ද මංද..

අපි ඉතින් මේ වගේ මැප් වලින් ඔය තියෙන දෙයක් බලාගෙන ඉන්නවා.. හැබැයි බැරි වෙලා හරි නෙමෝ ලොක්කගේ නෞටිලස් එකේ අඩු ගානට ටුවර් පැකේජ් තිබ්බ නම් අපිත් බය නැතුව යනවා..  පේනවනේ හිටියනම් පොරට කරන්න තිබ්බ බිස්නස්..

කොටින් ම මේ කැප්ටන් නෙමෝ ගේ පොත කියවල ඉවර වෙලා ඊයේ ටීවී බලද්දී ටීවී එකේ තිබුනා එකක් ඔය මහ මුහුද මැද්දේ කිමිදිලා මාළු මරණ සීන් එකක්.. දැල් දාල අල්ලනවා නෙවෙයි කෙලින් ම උලකින් වගේ ඇනල අල්ලන්නේ.. ඕක බලද්දී මතක් වුනේ නෙඩ් ලෑන්ඩ්ගේ ඇවුලුම් බිලිය.. ඇවුලුම් බිලිය කියන්නේ මොකක් ද කියල මම දන්නේ නෑ හැබැයි ඒ පෙන්නපු ආයුදේ ඒ වගේ වෙන්න ඇති.. ඔය ඇවුලුම් බිලියෙන් තල්මස්සු මරණ කතාව මිට කලින් කියවල තියෙනවා.. මම හිතන්නේ මොබි ඩික් එකේ ද කොහෙද.. ෂුවර් නෑ..

දැන් මේ මැප් එක දකිද්දී මතක් වුනේ.. ඔය කැප්ටන් නෙමෝ දැක්කයි කියන ඇට්ලන්ටිස් මහාද්වීපයේ සුං බුං ටික..  ඔන්න බලන්න මම කිව්වේ බොරු ද කියල.. පොර අද හිටියනම් .. පවුලේ සැමට ඇට්ලන්ටිස් සවාරියක් යන්න තිබුනනේ ... අපිත් ඇට්ලන්ටිස් බලනවනේ එහෙනම්

දැන් ඔය කාරනා කාරනා දන්න අය කියයි ඇට්ලන්ටිස් කියන්නේ බොරුවක් කියල.. හැබැයි ඉතින් ඔය ඇට්ලන්ටිස් මහාද්වීපය තිබුනයි කියන්නේ දැන් අප්‍රිකානු සහ ඇමරිකානු මහද්වීප දෙක අතර ලු.. සෑහෙන්න දියුණු ශිෂ්ටාචාරයක් තිබුන(ලු) ..ලු.. අනේ මං ද

මම අර කලින් කිව්වා වගේ බැරිවෙලා හරි Jonathan Harker දැති හුලහ ගෙන් ගේම ඉල්ලන්නේ නැතුව ශේප් වෙලා දැතිහුලහ අද වෙනකම් හිටියනම්  ඔය දැතිහුලහ ට තියෙන නොමැරෙන ලේ වල රහස ශේප් එකේ එක්කෝ ගානක් දීලා.. නැත්නම් ඔය පොඩි සුදු ළුණු ටිකක් පොඩි කරලා  දැති හුලහව මඥ්ඥන් කරලා හොයාගෙන නෙමෝ ගේ ටෙක්නොලොජි පාවිච්චි කරලා මොන මොන දේ කරන්න තිබුනද...අනිත් එක අර අදිසි මිනිසා නොපෙනී ඉන්න ටෙක්නික් එක, අදිසි මිනිහ මලේ මක් වෙලා ද? මට මතක නෑනේ.. මට මතක එකම දේ තව අදිසි පුසෙක් මේ ලෝකේ ඉන්නවා කියල විතරයි... ඒ පුසාත් මලා ද? කාට හරි මතක ද?

කියල වැඩක් නෑ.. ගම්පහ ඉන්න තිබ්බ මිනිස්සු..

කැප්ටන් නෙමෝ වගේ නෙවෙයි ඇලන් ක්වාටර්මේන්,  වැදගත් මනුස්සය. අර සොලමන් රජ්ජුරුවන්ගේ වස්තුව හොයන්න ගිය හැටි කට්ටිය දන්නවා ඇති නේ.. ඔය සොලමන් රජ්ජුරුවොයි ෂිබා රැජිනයි කියන්නේ බයිබලේ එන චරිත දෙකක්.. දැන් ඔය King Solomon's Minesපොත සිංහල ට පරිවර්තනය වෙලා තිබුනා රත්නාගාරය කියල.. ඔය පොතේදී තමයි මම ඉස්සෙලම ඇලන් ක්වාටර්මේන් අඳුර ගත්තේ.. දැන් නම් ඒ පොත තියෙනවා ද දන්නේ නෑ සල්ලි දීල ගන්න. ඔකේ තියෙනවා ඇලන් ක්වාටර්මේන් සහ ඔහුගේ පිරිස කාන්තාරේ යද්දී ඈතින් පේන කඳු ශිකරය ගැන කියන්නේ ෂිබාගේ දෙපියයුරු කියල.. මට ඒ දවස් වල ඕක කියවද්දී නිකන් හෙන අවුල් වගේ.. හෙහ් හෙහ්.. දැන් මේ කොහෙන් හරි ඇලන් ක්වාටර්මේන් මතක් වුනත් මතක් වෙන්නේ පොතේ ඒ කෑල්ල හෙහ් හෙහ් හෙහ්...

රයිඩර් හැගාර්ඩ් ගේ ඈ හෙවත් අයේෂා කියන පොතේ තියෙන්නේ ඔය ෂිබා රැජින ගැන කියල මම හිතාගෙන හිටියේ හැබැයි මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි.. අයේෂා පොත ආයෙත් හොයාගෙන කියවන්න ඕනේ..දැන් මේ පොත් ගැන මතක් වුන වෙලාවේ මතක් වෙච්ච තව එකක් තමයි භුතාවේශය කියන පොත.. එකේ තිබුනෙත් ඔය කවුරු හරි කුමාරියක් ගැන තියෙන ඇඩ්වෙන්චර් කතාවක්.. එකේ චරිත නම් මතක නෑ.. හැබැයි පිට කවරේ තිබුණු දුහුල් සළුවක් ඇඳගත්ත නග්න ගෑනු රූපේ නම් ගලේ කෙටුව වගේ මතකයි හෙහ් හෙහ්..

එක පොතක් කියෙව්වම අපිට කොච්චර දුරක් යන්න පුළුවන් ද.. චිත්‍රපටයක් බැලුවට මේ විදියට මනස්ගාත ගොතන්න ටිකක් අමාරුයි මම හිතන්නේ.. මොකද චිත්‍රපටි වලින් අපේ ඔළුවේ සිද්දි ටික ඔක්කොම ඇඳලා ඉවර කරන නිසා අපිට අලුතින් අඳින්න දෙයක් නෑ.. පොත් වලින් ඉතින් පිස්සු හැදෙන කම් මවන්න පුළුවන්..

දැන් අර මම උඩින් කියපු LXG ෆිල්ම් එක මෙලෝ රහක් නැති එකක් වෙනවා ඔය චරිත ටික කලින් කියවල අඳුරගෙන හිටියේ නැත්නම්..

හරි එහෙනම් ඔය ඉන්දියන් සාගරේ උඩින් යද්දී හදිස්සියෙවත් ප්ලේන් එකක් කඩා වැටුනොත් සාගරේ තියෙන ඔය උස් කණ්ඩියකට නැගල පොඩ්ඩක් අල්ලන් ඉන්න පුළුවන්නේ කවුරු හරි බේර ගන්න එනකම්... පොඩ්ඩක් මැප් එක ඔළුවට දාගන්න.. කොයි එකටත් කියල..

කළුවරේ නිදා ගන්න ලැස්ති වෙලා ඉන්න අය මෙන්න මේකත් බලල අපේ හිතාදර දැතිහුලහා මහතා ගැන සිහිපත් කරගෙන ඔස්ති පාන් කෑල්ලක් කාල ,  සුදු ළුණු ටිකක් ඇඳවටේ තියාගෙන නිදා ගන්න.. සුබ රාත්‍රියක්!!

රිංගිට් 5ට ගත්තු මගේ රාජකීය දැතිහුලහ පොත


29 comments:

  1. උන්ගේ ගංගානම් මඩ වල අයිතියටද දන්නැ අපේ මාළු අල්ලන්ඩ එන්නේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මේවා තාම ඒ හැටි ප්‍රසිද්ධ නෑ මම හිතන්නේ.. කතාව ඇත්ත නම් ලංකාව කිට්ටුව මුහුද යට අම්බානක් සරු පොළවක් ඇත්තේ..

      Delete
    2. නැතුව ඉතිං ... අරුන් ගංගා ගඟේ boga දාන damillata henata සරු ඇති ..

      Delete
    3. සජ්ජා, ඇයි බන් පාවෙන මිනී ගොඩ.. ඇලක් කපල හරෝ ගත්තත් පාඩු නෑ.. හෙහ් හෙහ්

      Delete
  2. ඔය LXG කියන ෆිලුම බලන්න ඕන. ඔය කියපු චරිත ඔක්කොම පුද්ගලිකව දන්නවා. පොත් වලින් මවන්න පුළුවන් චරිත සහ වටාපිටාව කිසිම චිත්තරපටියකට මවන්න බෑ. පරිකල්පන ශක්තිය වැඩි මිනිහට පොතේ චරිත සහ ඒ පසුබිමින් ඔබ්බට හුඟක් දුර යන්න පුළුවන්. මන්නාරමේ ඉඳන් හලාවත වෙනකල් තිබ්බ මුතු කිමිදීම ගැන සහ නෝටිලස් එකේ කැප්ටන් නීමෝ ගැන මේ ලඟදී මටත් මත උනා ඒ පැත්තෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක. කකුල් දෙක අස්සෙ ලොකු ගලක් හිරකරගෙන සතෙක්ගෙ බොක්ක (ආමාශය) ට හුලං පුරෝගෙන මුහුදේ කිමිදෙන මුතු කිමිදෙන්නෙක් නෝටිලස් එක දැකල ඇස් උඩ ගිය හැටි මටත් එදා මැවිලා පෙනුන. දැතිහුලා කියෝනකොට ජොනතන් හාකර් මොන තරම් පොරක්ද කියල හිතුන හැටි මතකෙට එනව. මම වගේ එකෙක් හිටිය නං ගල් බිත්ති දිගේ රෑ තිස්සෙ බඩගාන්න යන්නෙ නෑ අරූගෙ රහස් හොයන්න.
    අදිසි මිනිසා පොතේ අන්තිම වාක්‍යයේ කෑල්ලක් තාමත් මතකයි. පොර මැරිල ටිකෙන් ටික සිරුරේ ස්වරූප පේන විදිහ එක්ක වාක්‍යය අවසන් කරලා තිබ්බෙ "ශ්‍රේෂ්ඨ ද්‍රව්‍යධර්ම විද්‍යාඥ ග්‍රිෆින්" කියල. ග්‍රිෆින් චරිතයද එතකොට ෆිලුමේදී රොඩ්නි ස්කිනර් වෙන්නෙ? ඇලන් ක්වාටර්මෙන් කියන්නෙත් පොරක්. මිනිහගේ යාළුවා හෙන හැන්ඩි බුවා නේද? නම මතක නෑ..
    අපිටත් පිස්සු. මොනවා කොහොම වෙතත් ඔය කියපු ෆිලුම බලන්න ඕන. ප්‍රොෆෙසර් මොරියාටි කියන්නෙ හෝම්ස් පවා පරයා යන වැඩකරුවෙක්. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. LXG හොඳයි.. කතාවේ ඒ හැටි ගත යුත්තක් නෑ හැබැයි අර චරිත ටික ඉන්න නිසා බලන්න පුළුවන්..

      පොතේ ලංකාවේ මුතු පර ගැන ලොකු විස්තරයක් තියෙනවා.. ජුල්ස් වර්න් ගේ කාලේ දී අදට වඩා ලංකාව මුතු වලට ප්‍රසිද්ධව තියෙන්න ඇති..

      dracula පොත ලියපු bram stoker ගේ නෑයෙක් ද කොහෙද තව පොතක් ලියල තියෙනවා dracula un-dead කියල.. dacre stoker කියල කෙනෙක්.. එකේ තියෙන්නේ මීනා එයාගේ දරුවන්ට කතාව කියන සීන් එකක් ද කොහෙද මගේ ළඟ පොත තියෙනවා තාම කියෙව්වේ නෑ.. dracula පොත ගෙදර පේන්න තියෙනකොටත් බය වෙන එක්කෙනෙක් ගෙදර ඉද්දි කියවන්න වෙන්නේ නෑ හෙහ් හෙහ්..

      ෆිල්ම් එකේ ඉන්න අදිසි මිනිහා කතාවේ ඉන්න කෙනාමද කියල ෂුවර් නෑ.. ෆිල්ම් එකේ තියෙන නම තමයි ස්කිනර්. අදිසි මිනිසා මම හෙන ආස පොතක්

      මේ චරිත ගැන පිස්සු වැටිල ඉන්නේ අපි විතරක් නෙවෙයි සජ්ජා.. මේවා ලෝකෙම පිස්සු වට්ටපු චරිත.. ඉඳල හිටලා මනෝ පාරක් ගහන්න මරු.. හෙහ් හෙහ්

      Delete
    2. ඇලන් ක්වාටර්මෙන් ගේ යාලුවා කවුද? මට මතක නෑනේ..

      Delete
    3. හෙන්රි කියල කෙනෙක් mata mathaka විදියට .. එක කතාවක රජතුමාගේ දුවල දෙන්නෙක් බුවාta රංඩු උනා ...

      Delete
    4. සජ්ජා, මොකක්ද බං මේ කොමෙන්ට් දාන සොෆ්ට්වෙයා එක. හැක්..

      Delete
    5. මේ ටැබ් මගුලෙන් ටයිප් කරන්න බෑ අප්පා හරියට...

      Delete
  3. අනිත් පොත් සේරම වාගේ කියවලා තියෙනවා ජූල්ස් වර්න් ගේ Twenty Thousand Leagues Under the Sea පොත ඇරෙන්න. දැන් ඉතින් කොයි ලෝකෙන් හරි ඒකත් හොයා ගන්න වෙනවා.
    ඇලන් ක්වාර්ටමෙන් එක්ක ඈදුන් පොත් බර ගානක් තියෙනවා. රයිඩර් හැගාඩ් ගේ පොත් ගොඩාක් එකිනෙකට ස්මබන්ධයි. ඇලන් ක්වාර්ටමෙන් වයි අයේෂා වයි සම්බන්ධ කරගෙන අෑ සහ ඇලන් කියලා පොතකුත් ලියනවා.. කොහොම කොහොම හරි පරණ පොත් ගොඩක් ගැන මතකය අලුත් වෙන එකනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. බණ්ඩා, අෑ සහ ඇලන්,ඈ හෙවත් අයේෂා, අයේෂා ආපසු එයි ද කොහෙද කියල සිංහල පොත් කීපයක් තිබුනා.. මගේ ළඟ එකක් හෝ දෙකක් තිබුනා හැබැයි කාලෙකට කලින් අතුරුදහන් වුණා..

      මම ඉස්සර ආස තව පොතක් තමයි කෝනෑන්.. කේ.ජි කරුණාතිලක මහත්මයගේද කොහෙද පරිවර්තනයක්.. එකත් නියමයි.. කෝනෑන් ෆිල්ම් නම් ගොඩක් තියෙනවා..

      Delete
  4. ඇලන් ක්වාටර්මෙන් මගෙත් ප්‍රියතම චරිතයක්.ඔහුගෙ පොත් හත අටක්ම මගෙ ළඟ තියෙනවා.ඇලන් ක්වාටර්මන් කියල පොතකුත් තියෙනවා ඔබ කියවල තියේද දන්නෙ නෑ හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. හැලපෙ, පොත් ටිකේ නම් ටික දාන්නකෝ.. ඔය දැක්ක වෙලාවක ගන්න.. මම ඇලන් ක්වාටර්මන් පොත නම් කියවල නෑ..

      Delete
    2. පැතුම් ආපහු මතක් කෙරෙව්වා නේද පොත් ටික අපට. ඒ කාලේ ආසම කරන පොත් ටිකක් . ඇලන් ක්වර්ටමන් මගෙත් කැමතිම චරිතයක් හැලපේ. ලිපිය ආසාවෙන් කියෙව්වා.

      Delete
  5. අර චුටියට ලියල තියෙන කොටහ ඇත්තටම ඇයි එච්චරටම පොඩියට දැම්මේ.. හැක හැක.. අවුරුදු විසි පහකට විතර කාලෙකට ආපස්සට ගියා.. පොත් ටිකයි චරිත ටිකයි දැක්කම.. ආසාවේ බෑ.. මුහුදේ උඩිනුත් අඩු ගැඹුරු මුහුදේ කිමිදිලත් ගිහින් තියෙනවා.. ඒත් පතුල නොපෙනෙන මහා අගාධ වල යන්න ලැබිලා නෑ. ලංකාවට සබ්මැරින් තිබ්බනම් කොහොම හරි ගිහින් එන්න තිබ්බ..

    ReplyDelete
    Replies
    1. [අර චුටියට ලියල තියෙන කොටහ ඇත්තටම ඇයි එච්චරටම පොඩියට දැම්මේ..] මේ පෝස්ට් එකේ තියෙන එකම ඇත්ත කොටස ඒක නිසා.. අනිත් ඔක්කොම ෆැන්ටසි නේ කමි.. හෙහ් හෙහ්..

      ඒ වගේ දේවල් කියද්දී සද්දේ අඩුවෙන් කියන්න ඕනේ හෙහ් හෙහ්

      මම නම් අඩුම තරමේ කිමිදිලා වත් නෑ.. හෙහ් හෙහ්

      ඒ කාලේ කොටින්ට සබ්මැරින් තිබ්බ කතා බොරු ද? නේවි එකේ පොඩි මට්ටමේ සබ්මැරින් එකක්වත් නැද්ද?

      ඔය පොත් ඕනේ කාලෙක කියවන්න පුළුවන්.. මම නම් දැක්කොත් ඕනේ වෙලාවක අරන් බලනවා..

      Delete
    2. කොටි උත්සහා කරා මුහුද යටින් ගමන් කරලා ප්‍රහාර එල්ල කරන්න. ඒ වෙනුවෙන් පොඩි midget කියන වතුර යට යන්න පුලුවන් යාත්‍රා හදන්න බැලුවා. ඒවා සබ්මැරීන් නෙවෙයි . නේවි එකටත් සබ්මැරීන් නෑ .

      Delete
  6. //තනිකරම අදාලම නොවනම විදියටත් බ්ලොග් ලියනවද කියල මම දන්නේ නෑ.// නැතුව නැතුව. ඔය හැලපෙල රවී අයියල එහෙම ගොඩක් වෙලාවට ලියන්නෙ එහෙම තමයි. හැක්..

    ඔය දැතිහුලහ කියන එක අපේ ශ්‍රංගයගෙ පුංචම්මගෙ වචනයක් මට මතක හැටියට.

    මොන කරුමෙකට හරි මට තාම ඔය එක පොතක්වත් කියවන්න හම්බවෙලා නෑ. ඒක හොඳයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன යා,
      [දැතිහුලහ කියන එක අපේ ශ්‍රංගයගෙ පුංචම්මගෙ වචනයක්] ඔව් මම ඒක කෙලින්ම පාවිච්චි කලේ බ්ලොග් කියවන හැමෝම ඒක දන්නවා කියල උපකල්පනය කරලා.. ශ්‍රංගය නඩු දායි ද දන්නේ නෑ ලිඛිත අවසරයක් ගත්තේ නෑ කියල හෙහ් හෙහ්.. (අනේ මම හරි අහිංසක ළමයෙක්)

      ඔය විදියට බ්ලොග් එක ගානට මේන් ටේන් කරගෙන පිළිවෙලකට කමෙන්ට් එකක් දාගෙන ඉන්න උඹට පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි.. බැරි වෙලාවත් කියවන්න එපා මේ පොත්..

      රවී සහ හැලප කියන්නේ පොඩ්ඩක් වයර් මාරු වෙච්ච ඩයල් දෙකක් නේ.. ඔන්න ඔහේ අත් ඇරලා දාමු..

      Delete
  7. Twenty Thousand Leagues Under the Sea කෘතියේ සිංහල පරිවර්තනයේ ප්‍රකාශක කවුද පැතුම් ?

    ReplyDelete
    Replies
    1. මනෝජ් ප්‍රකාශනය විජේසුරිය පාඨක පදනම, 812, මරදාන පාර, පුංචි බොරැල්ල.

      ගිහින් බලන්න හොයා ගන්න පුළුවන් වෙයි.. 2006 මුද්‍රණයක් මගේ ළඟ තියෙන්නේ

      Delete
  8. හැබෑ ලෝකෙන් එලියට ඇවිත් ඔය පොත් කියවන ලෝකෙ ඉන්න පුළුවන් නම් කියල මට හිතෙන කාලයක් මේක.. සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. හලෝ බොස්, දැක්ක කල්.. අපිත් මේ උදේ ඉඳන් මැරිලා මැරිලා පොඩි ෆැන්ටසි ආතල් එකක් ගන්නවා ඉතින්..

      දුක තමයි ඉතින් ෆැන්ටසි ය ෆැන්ටසියක් ම වෙච්ච එකට.. සරත් අයියා ආයේ ලියන්නේ නැද්ද..?

      Delete
  9. ගේ ගාව තිබ්බ පුස්තකාලට පිං සිද්ද වෙන්න මට පොඩි කාලෙම ඔය චරිත ටික අදුර ගන්න හම්බවුනා.මේක කියවපුවහම ඒ දවස් ආයෙම මතක් වුනා.
    ඇවුලුම් බිලියක් දැකල නැත්නම් මෙතනින් බලාගන්න පුලුවන්..https://en.m.wikipedia.org/wiki/Harpoon#
    assassin's creed game එකේදි ඕක පාවිච්චි කරල තල්මසුන් දඩයම් කරන්නත් පුලුවන්.

    ReplyDelete
  10. ඈත අභ්‍යවකාශයට ගියත්, තමන්ගේම ලෝකයේ මුහුදු පතුල, මිනිසා විසින් ප්‍රමාණවත් තරමින් ගවේෂණය කර ඇද්ද යන්න ගැන සැකයි.

    ReplyDelete
  11. /(ඔය වචනේ සිංහල ක්‍රමේට කියන්නේ දැතිහුලහ කියල/

    අඩෝව්...!

    ReplyDelete