Thursday, July 17, 2014

නැන්දම්මාගේ රෙකමදාරුව

නැන්දම්මල ගැන කතා ඉතින් බලංගොඩ මානවයාගේ නැන්දම්මාගේ කාලේ දක්වා දිව යනවා මම හිතන්නේ.. හැබෑට ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑනේ... මම මේ කියන්නේ.. නෑ නෑ එක්කෝ ඕනේ නෑ...

මේක මේ පොඩි කතාවක්.. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි.. පොඩි සිද්දියක්.. 

මෙන්න මේ කතන්දරේ විදියට අපි දෙන්නගේ කතාව පටන් ගත්තට පස්සේ ඉතින් කාලයක් ගෙවිලා ගෙවල් දොරවල් වලින් කතා බහ කරගෙන දැන් වෙඩිම ගන්නත් සුදානම් වෙන කාලේ... වෙඩින් කියන්නේ මහා තේරුමක් නැති දෙයක් කියල මොන පොර ටෝක් අනිත් උන්ට  දැම්මත් තමුන්ගේ මගුල ආවම ඉතින් අපිටත් ඉතින් මෙලෝ සිහි නෑ... සිහිය තිබුනත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉදිරි කාලේ  කනක් ඇහිලා ජිවත් වෙන්න ඕනේ නිසා සිහි නෑ වගේ දුවන එක තමයි කරන්නේ... 

ඔන්න ඔහොම ඉතින් එක එක දේවල් සුජානම් කරගෙන යන අතරේ ඉතින් අපි දෙන්න තීරණය කරලා තිබ්බේ බැන්දට පස්සේ වෙනම පදිංචි වෙන්න.. ඒකට අපේ පවුල් වල කාගේවත් කිසි අවුලක් තිබුනේ නෑ.. හැමෝගෙම අදහස වුනේ ඒක හොඳයි කියන එක. අපි දෙන්න වෙඩිමට මාස 2ක-3කට කලින් ම පත්තරේ බලල ගෙයක් එහෙම හොයාගෙන ඒ ගෙදරට අත්තිකාරම් එහෙම දීල තිබ්බේ..  ඒ ගෙදර ඇන්ටියි අංකලුයි අම්ම තාත්තට වඩා අපි දෙන්නට ආදරෙයි... ගේ කිව්වට උඩ තට්ටුවක්.. හැබැයි සිරා ප්ලේස් එකක්.. හොඳට ප්ලෑන් කරලා හදපු අලුත් ගෙදරක්... ඉතින් අපි සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව දැක්ක දවසෙම ඒක ගත්ත. 

ඉතින් දැන් ඔහොම ටික ටික ලැස්ති වේවි ඉන්නකොට ඉතින් ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු ගන්නත් ටික ටික පටන් ගත්ත.  ටීවී, ෆ්‍රිජ් අපේ කැමැත්තට ගත්තට ඔය ලී බඩු අපි ගන්න ගියොත් ඉතින් අපි නානවනෙ..  මොකද අපි කොච්චර බලල අරන් ආවත් ඉතින් අඩුපාඩුවක් නෑ බැනුම් ගොඩයි. එක්කෝ මොකක් හරි ජරා ලීයක්.. නැත්නම් හදපු කොලිටිය හරි නෑ.. අනිත් එක ඔය වයිරම එහෙමත් බලනවනේ.. හෙහ් හෙහ්..

බට්ටි නගාට මුල ඉඳන්ම ඕනේ උනේ ඔය තනි සුදු පාට ලි බඩු. ඒ කියන්නේ තේක්ක බුරුත නැදුන් කළුවර ලෑලි වැඩක් නෑ.. ෆෝමිකා ගහල හරි කමක් නෑ සුදු පාට තිබුනානම් හරි. මුල්ම කාලේ ඉතින් ඔය විදිහේ ලි බඩු හොයා හොය ගියා..  කොහේ හොයන්නද එහෙම ඒවා ඉතින් හොයා ගන්න නෑනේ.. එහෙමත් තැනක තිබුනත් එක්කෝ පට්ට ගණන් නැත්නම් මෙලෝ රහක් නැති විදියේ ඒවා. ඒ කිව්වේ ඔය ලාබෙට හදන බාල බඩු.. ඉතින් කොහොම හරි එහෙම බඩු නෑ කියල ඔප්පු උනාට පස්සේ බස්ටි නගා කැමති වුණා  ලී පාට ලී බඩු ගන්න..

දැන් ඉතින් ලි බඩු ගන්නවනම් අපි ඕනේ කෙනෙක් යන්නේ ගහට ගහක් හම්බවෙන මොරටුවටනේ.. මොරටු ගිහින් බඩු ගන්න අම්මලවත් එක්කන් යමු කියල දැන් අපි දිනයක් දාගෙන යන්න සෙට් වුණා. අපේ නංගිත් ඔක්කොම බඩු හැදුවේ මොරටුවෙ අහවල් කඩෙන්  තමයි  ඒ කඩේට යන්න එතන ෂෝක්.. එහෙම කියල අවවාද එහෙම දුන්න... එතකොට තව තව අයගෙනුත් එක එක විදියේ උපදෙස්  ආවා..  ඕව ඔක්කොම හිතේ තියාගෙන දැන් අපි හතර දෙනා ඒ කිව්වේ අම්මල දෙන්නයි අපි දෙන්නයි මගේ කාර් එකේ යනවා.

යන ගමන් ඉතින් ඔය එක එක ආගිය කතා.. ඔප දුප තමයි ඉතින්..

දැන් ඔහොම ගිහින් මොරටුවේ කඩවල් දෙක 3ක ඇවිද්දා.. එහෙන් මෙහෙන් බැලුවට ඉතින් හිතට හරි යන්නේ නෑ..  ආයේ ඉතින් කාර් එකේ නැගල තව තව ඇතුලේ තියෙන කඩවල් වලට යනවා.. බලනවා. එනවා.. ඔහොම ගිහින් ගිහින් එක්තරා කඩේක තිබුණු පුටු සෙටියක් ගැන ඔන්න කට්ටියගේ හිත ගියා.. ඒ කියන්නේ අපි හිතපු ගානට හිතපු විදියේ වගේ එකක්.. අපි කිව්වේ බට්ටි නගා හිතපු විදියේ එකක් ඒ කියන්නේ සුදුපාට ලෙදර් එකක් දාපු එකක්.



ඉතින් දැන් ඒ පුටු සෙටියත් බලන අතරේ ඉතින් කතා බහ මෙහෙම යනවා. 

"සුදු පාට නිසා ටිකක් කිලිටු වෙන්න බලනවා නේද? ඒ අපේ අම්ම. 

"මෙයා නම් ඉතින් පොඩි කාලේ ඉඳල හරි පිළිවෙලයි. හැමදේම පිරිසිදුව තියාගෙන ඉන්නවා. සුදුපාට වුණා කියල ගානක් නෑ.. හොඳට පිහදාල තියා ගන්න පුළුවන්" එහෙම කිව්වේ බට්ටි නගාගෙ අම්ම.

බට්ටි නගා මෙහෙම හිටියට ජනාධිපති සම්මාන ලාභී බාලදක්ෂිකාවක්. ඉතින් පිළිවෙල පිරිසිදු කම කියන්නේ කන්න නැති වුනත් කමක් නෑ ක්ලින් එකට ඉන්න ඕනේ.... සෙනසුරාදා උදේ කියන්නේ මුළු ගේම මුල ඉඳන් අනිත් පැත්ත හරවන දවස.. මම හිතන්නේ අපි දෙන්න වැඩිපුරම වලි දාගන්නේ සෙනසුරාද උදේට...

ඉතින් බට්ටි නගාගෙ අම්ම එහෙම කියන එක හරි.. 

එහෙම කියල කට ගන්න හම්බ වුනේ නෑ.. "අපෝ ඒකට මෙයා. වනේ වන සතා වගේ ගෙදර ඉන්නේ" අපේ අම්මා මං ගැනත් දුන්න සිරා රෙකමදාරුවක්...!!!!

ටික වෙලාවකින් "අපි එහෙනම් මේ කළු පාට සෙටි එක ගම්මු නේද පුතා" කියල බට්ටි නගාගෙ අම්ම බොහොම ආදරයෙන් මට කිව්වා..

ඊට පස්සේ සියල්ලෝම සතුටින් ගෙදර ආවා.

Thursday, July 03, 2014

කළු දල මල හම්බ වුනොත් කියනවද

මේ සැරෙත් සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනේ මිස් වෙන ලකුණු තමයි තියෙන්නේ... මෙහෙන් ගත්ත පොත් සෙට් එක නිසා පොඩ්ඩක් හිතේ අමාරුව අඩු වුනාට .. පොත් ගොඩවල් වටේ ටිකක් ඇවිදල, පොත් වල සුවඳ විඳලා, අත පත ගාල එන ආතල් එක මිස් වෙන එක සැහෙන දුකක්...

මේ පරණ පොත් ගැන මතක් කර කර ඉන්නකොට මතක් වෙච්ච පොතක් ගැන අහ්! අදහසක් විදියට ලියල දාන්න හිතුනේ මේක. මොකද සැප්තැම්බර් කිට්ටු වෙනකොට අමතක වීමේ ඉඩ සැහෙන වැඩි නිසා.. 

ඇලෙක්සැන්ඩර් දුමා ගේ The Black Tulip කියන නව කතාව සිංහලට පරිවර්තනය වෙලා තිබුනා කළු දල මල නමින්. සැහෙන කාලෙකට කලින් මේක මගේ පොත් ගොඩෙන් අතුරුදහන් වුණා. ටීනේජ් (teenage) කාලේ පටන් ගන්න කොටම වගේ කියවන්න ලැබුණු හරි අපූරු කතාවක්.



කියවල නැති කෙනෙකුට පොඩි අසාධාරණයක් වුනත් කතාවේ තියන්නේ මෙහෙම සීන් එකක්

1600 ගණන් වල නෙදර්ලන්තේ කතාවක් මේක. කතාව පාදක වෙන්නේ සහෝදරයින් දෙදෙනෙක් වටා. මට මතක විදියට එක්කෙනෙක් දුෂ්ට චරිතය අනිත් කෙනා තමයි කතාවේ වීරයා. කතන්දරේ ගෙතෙන්නෙ නෙදර්ලන්තයේ බොහොම ප්‍රසිද්ධ Tulip මල් වටා.  බොහොම ආදරණිය ප්‍රේමයක් කතාව පුරාම ගලාගෙන යනවා. ඒක මිනිසෙකු පරිසරයට සහ මල් වල සුන්දරත්වයට ප්‍රේම කිරීම ලෙසත් ඒ වගේම සුන්දර තරුණ හදවත් දෙකක ඇතිවන රහසිගත ප්‍රේමයක් විදියටත් කතාව පුරාම තියෙනවා. දුෂ්ට කම සහ අව නීතිය නිසා දැන් කාලේ වගේම ඒ කාලෙත්  සිද්ද වෙච්ච සමාජ අසාධාරණය කතාවේ කුතුහලය සහ ත්‍රාසය භීතිය ඇති කරලා තියෙනවා. කොහොම වුනත් අවසානය සුඛාන්තයක්.. ඒ නිසා රස වැඩියි... :)

හිර ගෙවල් වල ඉඳන් මිනිස්සු පරෙවියෝ අතේ පණිවිඩ  යවල වැඩ ගත්ත හැටි බොහොම අපුරුවට මේකේ තියෙනවා. මට අදටත් ඔය කුරුල්ලෝ අතේ පණිවිඩ යවන කතාවක් ඇහුනොත් මතක් වෙන්නේ මේ කතාව.

මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් නොබලපු අය පව් නිසා ඔය ඇති..

මට කතාවේ පරිවර්තක ගේ නම මතක නෑ. නමුත් ලස්සනට පරිවර්තනය කරලා තිබුනා. කේ.ජි කරුණාතිලක මහත්මය ද මන්ද.. ෂුවර් නෑ..

පිටුවෙන් පිටුව කියවද්දි ආස හිතෙන පොතක් විදියට තමයි මට නම් මේක මතක තියෙන්නේ. අවුරුදු 20කට විතර පස්සෙ ඒ ආසාව ආයේ වැඩි වෙලා පොත ගැන මතක් වෙලා මේ හොයල බලන්න හිතුනේ.

ඉංග්‍රීසි කොපියක් නම් මේ ලින්ක් එකේ තියෙනවා


හැබැයි මට ඕනේ මම මුලින්ම කියවපු පරිවර්තනේ ආයේ කියවන්න...

කට්ටිය පොත් ප්‍රදර්ශනේ ඇවිදින කොට පොඩ්ඩක් හොයල බලන්න .. හම්බ වුනොත් අරගෙන පණිවිඩයක් එවන්න. 

Tuesday, July 01, 2014

මිනිසුන්ගේ නික්මයෑම

අපි කොච්චර අවිනිශ්චිත ජිවිතයක් ගෙවනවද කියන එක අපිට ගොඩක් වෙලාවට වැටහෙන්නේ නෑ.. වචන මාත්‍රයෙන් තේරුම් ගියාට ප්‍රත්‍යක්ෂයෙන් ඔය අවිනිශ්චිත කම අපිට දැනෙන්නේ නෑ... ගිරව් වගේ  අපි ඔහේ මේ ජිවිතේ අවිනිශ්චිතයි කියල කියෙව්වට එක්කෝ තමුන් මැරෙන්න වැටෙන කම් හරි තමන්ගේ ළඟම කෙනෙක් හදිසියේම මැරෙන කම් හරි මරණය කියන දේ ගැනවත් අපිට හරි හැඟීමක් දැනෙන්නේ නෑ... මොන දේ වුනත් ටික කාලෙකින් ආයේ අර අවිනිශ්චිත කම අපිට අමතක වෙලා යනවා..

අපේ ගමේ කෙනෙක් හදිසියේම නැති වුණා කියල ඉරිදා යාලුවෙක්ගෙන් පණිවිඩයක් ආවා..  නිකමටමවත් අපි දැන්ම මැරෙයි කියල හිතපු චරිතයක් නෙවෙයි. ගමේ කාටත් උදව් පදව් කරගෙන හැමොත් එක්කම හොඳින් හිටපු යහපත් කෙනෙක්. වයස 50ක්-55ක් විතර ඇති. අපි කිව්වේ සරත් අයියා කියල. 

පොඩි අක්කයි සරත් අයියයි අපිට වඩා වයසින් ගොඩක් වැඩි වුනාට පොඩි කාලේ ඉඳන් අපිත් එක්ක එකතුයි. සෙල්ලම් වයසේ අපි ඉන්නකොට එයාල කසාද  බැඳලා හිටියේ. පොඩි අක්කලාගේ වතු වල, ගෙවල් අස්සේ, ඉඩම් කඩම් වල අපි ඕනේ තරම් දුවල පැනල ඇති.. හැංගි මුත්තම් කරලා ඇති.. ගහකොළ වල හැදිච්ච දේ අපේ වගේ කඩාගෙන කාල ඇති. ඔහේ හිනාවෙලා හිටිය මිසක් කවදාවත් බැනල අපිව එලවල නෑ. ඒ පළාතේ තිබ්බ ලොකුම සියඹලා ගස් දෙක තිබුනේ පොඩි අක්කලගේ වත්තේ. මම හිතන්නේ මිනිස්සු හතර පස් දෙනෙකුටවත් බදල අල්ලන්න බැරි තරම් මහා විසාල ගස්. එක ගහක් සීනි සියඹලා ගහක්. අමු සියඹලා, ඉදිච්ච කරල් කාල ඇති ගණන් කරන්න බැරි තරමක්. පල්ලෙහයින් තිබ්බා බිලිං ගහකුත්,  වටේම කෝපි ගස් පිරිච්ච කැලෑව.... මී පැණි රස පොඩි අඹ ගහක් පාර අයිනේ තිබ්බ, නමිනන් ගහ, ඔය ගස් යට කොච්චර සෙල්ලම් කරලා ඇත්ද.. 

මම දන්නා විදියට සරත් අයියා පොලිසියේ වැඩ කළා.. පස්සේ පැන්ෂන් අරන් ඔය වතු වල වැඩ කර කර හිටිය.. ගෙදරින් ටිකක් ඈතට වෙන්න හේනක් එහෙම වගා කළා. අපි සරුංගල් කාලෙට වෙලේ සරුංගල් යවල හේනට ගිහින් වෙරළු කඩනව... ඊට පස්සේ ඔය කාගේ හරි ගෙදරක මුට්ටියක් ලිපේ තියල වෙරළු තම්බල කනවා.. අච්චාරු හදනවා.. නියම කාලයක්.. 

සරත් අයිය පාඩුවේ තමන්ගේ වැඩත් කරගෙන ගමේ පොදු වැඩ වලදී හැමොත් එක්කම සහයෝගෙන් වැඩ කරපු බොහොම සාමකාමී කෙනෙක්.. අවසන් කාලේ පාර අයිනේ කඩයක් කරගෙන ජිවත් වුණා පොඩි අක්කත් එක්ක... 

තව බොහෝ දේවල් ලියන්න මතක් වෙනවා. හැබැයි ඉතින් දැන් ඒ මනුස්සය යන්න ගිහින්... මගේ ජිවිතයෙන් මේ වෙනකොට ගෙවිලා තියෙන්නේ දශක 3ක් විතර. ඔය දශක 3න් 2ක් මම ගෙවන්න ඇත්තේ ඔය මිනිස්සු එක්ක. මවා නොගත් උපතින් ආපු සරල කමක් තිබුණු ගොඩක් මිනිස්සු මම ඒ කාලේ ආශ්‍රය කළා. සරල කම වචන වලින් නැතුව ක්‍රියාවෙන් පෙන්නපු මිනිස්සු කිව්වොත් හරි.. ලොකු කතා නෑ.. වැඩේ කරලා පාඩුවේ ඉන්නවා..  අපි ඒ චරිත වලින් ඉගෙන ගත්තේ ඒ වගේ දේවල්. මහා ලොකු තියරි නෙවෙයි. හතර වටේට බණ කියන හිස් මිනිස්සු දකින කොට  ඇත්තටම හිනා යන්නේ සැබෑ මිනිසුන්ගේ හැසිරීම අපි දැකල තියෙන නිසා...

ඔය ගං ගොඩවල් වල තාම ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් දැන් අපි ඒ මිනිසුන්ව නොසලකා හැරලා දාල තියෙනවා. මොකද අපි ලොකු ලොකු තියරි හතර වටින් ඉගෙන ගන්න නිසා. අපි හෙනට දන්න නිසා. හැබැයි අන්තිමට අපි දන්නේ නෑ කියල දැන ගන්නේ නැතුවම මැරිලා යනවා.

මම ජිවිතේ මේ අවිනිශ්චිතතාවය අත්දැක්කේ තාත්තගේ හදිසි මරණයත් එක්ක. ඒ සිද්දියෙන් පස්සේ මම ලෝකය දකින විදිය 100%ක් වෙනස් වුණා කිව්වොත් හරි. හැබැයි ඒක එක රැයින්  වෙච්ච දෙයක් නෙවෙයි. ජිවිතේට මුහුණ දීල, සමහර දේවල් කැප කරලා සහ සම්ප්‍රදායික රාමුවෙන් පොඩ්ඩක් එලියට ගිහින් තේරුම් ගත්ත දේවල් නිසා වෙච්ච වෙනසක්. තාත්ත නැතුව ඒ ගෙවිච්ච අවුරුදු 12 ගැන ගොඩක් දේවල් ලියන්න පුළුවන්. 

ජිවත් වෙච්ච මේ පොඩි කාලේ ඇතුලත මට ජිවිතේ ගැන ලොකු ටෝක් දාන්න තරම් අත්දැකීම් නෑ.. හැබැයි මට දැන් දැන් තේරෙනවා අවුරුදු 70-80ක් වෙලාත් හිස් විදියට ගෙවන ජිවිත වලට වඩා යමක් මම ඉගෙන ගෙන තියෙනවා කියල. 

අපිත් එක්ක ඉන්න මිනිස්සු, හිටපු මිනිස්සු ගැන අපිට හරි ඉක්මනට අමතක වෙනවා. ඒ අපි මේ ගෙවන ජිවිතේ නිසා. අඩු වැඩි වශයෙන් හැමෝම ඒ දේට මුහුණ දෙනවා. ඒක වරදක් නෙවෙයි. අපිත් එක්ක ජිවිතේ එක්තරා කාලයක් හිටපු නමුත් දැන් අමතක වෙච්ච මිනිස්සු ගැන හිතල බලන්න අපේ මේ වැඩකට නැතුව බොරුවට බිසී වෙච්ච මොඩර්න් ලයිෆ් එකෙන් පොඩි ටයිම් එකක් හොයා ගන්න ඕනේ.

මිනිස්සු මැරෙන එක වලක්වන්න අපිට බෑ. අපිට කරන්න පුළුවන් දේ ඉන්න කාලේ ඒ මිනිස්සු එක්ක හොඳින් ඉන්න එක. අපි දාගෙන ඉන්න ටාගට් ඔක්කොම ඉවර වෙලා මිනිස්සුන්ට සලකන්න ඉන්න කොට කෝච්චිය ගිහින් ඉවරයි. හැමෝම කියන්නේ අපි නම් සල්ලි පස්සේ දුවන්නේ නෑ කියල. හැබැයි නොදැනීම අපි කරන්නේ ඒක. ඒ දිවිල්ලට අපි පොඩි පොඩි නම් ටිකක් දාගෙන කොටස් වලට වෙන් කරගෙන ටාගට් දාගෙන ඉන්නවා. ඒ ටික ඉෂ්ට වෙනකොට අපි නොදැනීම අපි රේස් එක දුවල හති වැටිලා ඉවරයි. 

මේක ලියන මමත් ඔය වැඩේම කරනවා. ඒක එහෙම නොකර ජිවත් වෙන එක වැඩක් නෑ. ජිවිතේ හිස්ව ගෙවල දානවට වඩා මොනවා හරි වැඩකට ඇති දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා සල්ලි හම්බ කරලා  සැපට ඉන්න එක එකක්. හැබැයි ඉතින් රේස් එක අතරේ අපිට නොදැනිම මිස් වෙන අපේ සැබෑ වටිනාකම් අඳුන ගත්තේ නැත්නම් කවදාවත් නොදිනන ඒ රේස් එක කොහොමත් අපි පරාදයි.

රේස් එකෙන් අයින් වෙච්ච සරත් අයියගේ මරණෙට මට යන්න විදියක් නෑ. ඒ මම මේ රේස් එකේ තාමත් දුවන නිසා. හැබැයි මට පොඩි සැනසීමක් තියෙනවා. ඒ පහුගිය නොවැම්බර් මාසේ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක දවස් පහකට මම ලංකාවට ගිය වෙලාවේ හිස් අතින්ම සරත් අයියගේ කඩේට ගොඩවෙලා පොඩි අක්කයි සරත් අයියයි එක්ක විනාඩි 5ක්-10ක් කතා කර කර ඉඳල ආපු නිසා. මට හිස් අතින් යන වුණ එක ගැන මම කණගාටු උනත් මම එහෙම ගිය එක කවදාවත් එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ කියල මම දන්නවා. අඩුම තරමේ සරත් අයිය ගැන මගේ අවසාන මතකය ඒ විදියට හැමදාම මගේ හිතේ තියෙයි. 

ඉතින් ජිවත් වෙච්ච කාලය තුල කල කී දේවල් අනුව හෝ නැත්නම් අපි නොදකින මේ විශ්වීය සිස්ටම් එකේ තවත් සිද්දියක් විදියට සරත් අයියගේ අනාගත පැවැත්ම තීරණේ වෙයි. අපේ විදියට සරත් අයියාට නිවන් සුව පතල මේක ඉවරයක් කරලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් කරන දේවල් හොඳ සිහියෙන් නොකර අනුන් පතන නිවනින්වත් රේස් දුවන ගමන් හොයපු සල්ලි වියදම් කරලා ගොඩ ගහ ගන්න පින් ගොඩෙන් වත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියල මම නම් හිතන්නේ නෑ.