Sunday, August 18, 2013

මගේ සිංහල බ්ලොග් ලිවිම...

මේක මේ ඊයේ හදිසියට ලියල දාපු පෝස්ට් එකේ ලියන්න කියල හිතන් හිටපු පොඩි පොර ටෝක් එකක් .. ඊයෙ ගෙදර එනකොට පොඩ්ඩක් රෑ වුණා .. රස්තියාදුවට සීමාවක් නෑනේ ... :) 

මම හිතන්නේ මම මේ බ්ලොග් එක පටන් ගත්ත කතන්දරේ එහෙම මිට කලින් ඇනිවසරි පොස්ට් වල දාල තියෙනවා .. ඉතින් පරණ තැටි ආයේ කරකවන්න ඕනේ නෑනේ..  කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ල මම අවුරුදු 7ක් කළා .. ලොකු සීන් එකක් නෙවෙයි .. මොකද ලියන්න හිතුනම ලියනවා නැත්නම් නෑ ..ඇත්තටම අවුරුදු 7ක් ලිව්වට මම පොස්ට් 200ක් වත් ලියල නෑ .. ඉතින් පරණ උනාට පොරක් නෙවෙයි ..  අනිත් එක මම මේක ලියන්න පටන් ගත්ත කාලේ ඉඳලම ලියන තවත් පරණ බ්ලොග් තියෙනවා .. ඔවුන් තාමත් ලියනවා ඕනනම් පොඩි වෙනසක් ඇති පටන් ගත්ත දිනයේ..එච්චරයි ..

උදාහරනෙකට මෙන්න මේ බ්ලොග් එක..  


මේ 2005 ඉඳන් බ්ලොග් ලියන කෙනෙක්.. පලවෙනි සිංහල යුනිකෝඩ් පොස්ට් එක මට වඩා පොඩ්ඩක් පරක්කු වෙලා දාල තියෙන්නේ හි හි.. ඔන්න ඔහොමයි ඉතින් පරණම එකා වෙලා තියෙන්නේ..  

කොහොම හරි මම මේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නේ මට හිතුනම තමා. වෙන කිසිම බාහිර සාධකයක් නිසා කවදාවත් ලියල නැ.. කොටින්ම හැමදාම උදේ පාන්දර වැඩට ගිහින් ඉස්සෙල්ලාම මේක බලල වැඩ පටන් ගන්න බට්ටි නංගිගේ හිතසුව පිණිසවත් මම මේකේ මොකුත් ලියල නැ.. අනේ අරකෙ මොනවා හරි ලියන්නකෝ කියල කිව්වට ඉතින් මට එහෙම මොකුත් ලියන්න හිතෙන්නේ නෑ.. බ්ලොග් අංසෙන් නම් ඔන්න පොඩ්ඩක් ස්වාධින කමක් යාන්තමට වගේ තියෙනවා .. J

අනිත් එක තමා ලියන්න දේවල් නැති කම ...ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමා  අනිත් බ්ලොග් ලියන අය හැම පැත්තම කවර් වෙන විදියට ලියල දානවනේ මම තව මොනවා ලියන්නද කියන එක ..සහ ඔය එක එක අංශ ගැන තියෙන මගේ තියෙන බොහෝම අඩු දැනුම.. උදාහරනෙකට දේශපාලනය සහ ලංකාවේ තියෙන ප්‍රශ්න.. ලංකාවේ තියෙන ප්‍රශ්න සහ දේශපාලනය කියන්නේ 2ක් නෙවෙයි එකක්.  මම දේශපාලන සබ්ජෙක්ට් එක  මොකුත් දන්නේ නැති කම  සහ ඒවා ගැන දන්නා බොහෝ අය ඉන්න නිසා ඕක ගැන ලියල වැඩක් නැ..  

ඊට පස්සේ තාක්ෂණික දේවල්...  මම ඔය කොම්පුටර් අන්සේ රස්සාවක් කලාට මොකද දන්න ලබ්බක් නෑ... ඒ කියන්නේ ඔය එදිනෙදා කරන රස්සාවට අදාළ තාක්ෂණික දේවල ඇරුනාම ගැජට් බැජට් සහ අලුත්ම හෝ පරණ  හෝ ටෙක්නිකල් දේවල් ගැන දැන් එච්චර ඔලුවේ නැ... දැන් ඉන්න පොඩි උන් සිරාවටම බොහෝ දේවල් දන්නවා ඉතින් ටෙක්නිකල් දේවල් ලියල වැඩකුත් නැ... 

ඊට පස්සේ ආගම දහම ගැන... මේක ගැන කතා කරලා මෙලෝ වැඩක් නැ කියල මට දැනට අවුරුදු 5-6ක ට කලින්ම හිතුනා.. ඉතින් ඒවා ගැන දන්න අය සහ  උනන්දු අය ගේ කතා බහ එහෙන් මෙහෙන් බල බල ඉන්නවා.. මගේ මතය ලියන්න මට එච්චර හිතෙන්නේ නැ..  

කලාවටත් ඉතින් හෙන හැකියාවක් නැති නිසා ඒ අන්සේ ගැනත් ලියන්න දෙයක් නෑ... චිත්‍රපට බැලීම ,ටීවී සිරිස් බැලීම වගේ දේවල් ගැන ඉතින් ලියන්න තරම් දෙයක් නෑ... පිස්සුවෙන් වගේ බලනවා මිසක්...  මම පට්ට බිසී විදියට ඉදන් ගොඩක් වෙලාවට කරන්නේ ඒක .. හි හි...

ඊට පස්සේ ගවේෂණ , වාර්තාමය ලිපි, ආදී වෙනත් කරුණු ඇතුලත් අධ්‍යාපනික ලිපි වගේ ඒවා ලියන්න තරම් දැනුමක් හෝ හැකියාවක් නැති නිසා සහ හොයල ලියන්න තියෙන පට්ට කම්මැලි කම නිසා ඒවගේ දේවල් ලියන්නෙත් නැ...  වැඩිය එලිපහලියට යන්නේ නැති ගෙදරට වෙලා ෆැන්ටසි ආතල් ගන්න ගතිය නිසා ආතල් සිද්දීත් වැඩිය නැ.. (පරණ සින් ට්කක් වත් පස්සේ ලියල දාන්නම්).. ඊට පස්සේ ජිවිතේ ගැන, රස්සාව ගැන ,මිනිස්සු ගැන එච්චර අත්දැකීම් නැති නිසා ඒවා ගැනත් මොකුත් ලියන්න හිතෙන්නේ නැ...  හැබැයි ගොඩක් අයගේ ජිවිත අත්දැකීම් වලින් මම බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා...

කොටින්ම ඉතින් එදිනෙදා කාල බිලා ඉන්නවා මිසක්, සිද්දි මොකුත් නැති නිසා (හෝ සිද්ද වෙන සිද්දි වලට මම දෙන බර අඩු නිසා ද මන්ද) එහෙමට කියල ලියන්න දෙයක් නැ.... ගොඩක් වෙලාවට  15x7 වගේ ඔන්ලයින් හිටියට මම කරන මගුලක් නැ...  බොහොම අමාරුවෙන් ඉන්ටනෙට් කනෙක්ට්  වෙලා බ්ලොග් ලියන අයව සිරාවටම අගය කරන්න ඕනේ...  

හැම අනිවසරි පොස්ට් එකකදීම හිතනවා තව ටිකක් වැඩිපුර ලියනවා, කමෙන්ට් කරනවා ටිකක්   මනුස්සයෙක් වගේ මේ බ්ලොග් කෙරුවාව කරනවා කියල හැබැයි ඉතින් ලියපු දාට පහුවදා ඉදන් ඉතින් ආයෙත් බැක් ටු නෝමල්.. :P කොහොම හරි මේ බ්ලොග් නිසා ඉගෙන ගෙන තියෙන දේවල් නම් හෙනට වටිනවා.. මේක නිසා අඳුර ගත්ත හිත මිත්‍රයෝ ටිකත් ගොඩක් වටිනවා...  යලට මහට ලියල ඔහේ ඉන්න නිසා වලි හෝ තරහකාරයෝ නම් කවුරුත් නැ... ඉස්සරහටත් ඉතින් එහෙමම ඉමු.. බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ නැනේ... අනිත් එක අපිට තියෙන එක එක විදියේ ප්‍රශ්න එලෝ කෝටියක් එක්ක මේ බ්ලොග් කට්ටක් නිසා තව අලුත් ප්‍රශ්න ඔලුවේ දාගන්නේ මොකටද..


ඉතින් ඔන්න ඔහොමයි මම අවුරුදු 7ක් තිස්සේ මේක ලිව්වේ... ඉස්සරහටත් වැඩි වෙනසක් නම් වෙන එකක් නැ... කලින් පොස්ට් එකේ සුබ පතපු කස්ටිය ආයේ සුබ පතන්න මහන්සි වෙන්න එපා.. හි හි..  ඒ සුබ පැතුම් වලට බොහොම ස්තුතියි... මේක මේ තවත් එක පොස්ට් එකක් විතරයි.. ලියන්න මෙලෝ දෙයක් නැතුව හිටිය මට පොඩි පොයින්ට් එකක් හම්බ වුණා මොනවා හරි කුරුටු ගාන්න..  කවදා හරි ලියන තව පොස්ට් එකකින් නැවත හමුවෙමු.. 

හුටා..!!!! අදට මම මේ බ්ලොග් එක පටන් අරන් අවුරුදු 7ක් ගෙවිලා..

7 වෙනි වසර සමරන්න එක්ක ටිකක් බරසාර පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ.. හැබැයි අමතක වුනා... දැනට මේකෙන් නිල වශයෙන් අවුරුදු 7 සමරල හෙට අනිද්දට එකක් ලියල දාන්නම්.. මේ අවුරුදු 7තේ මේක බලපු සහ කොමෙන්ට් කරපු ඔක්කොටොම තැන්කු... :)

Sunday, August 04, 2013

My Life Is So Much More Interesting Inside My Head

මේක මට ඉස්සර ඉඳලම තියෙන ලෙඩක්.. ඒ කියන්නේ යථාර්තයට වඩා ෆැන්ටසියට කැමති වීම ... ඔය ෆැන්ටසිය ඇතුලේ මම බොහෝ දේවල් කරලා තියෙනවා... තාමත් කරනවා කොටින්ම මේ දැනුත් මේක ලියන්නේ ඔය ෆැන්ටසිය අස්සේ ඉඳන් ... මට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ ලෙඩේ තියෙනවා කියල මම හිතන්නේ .  එකම දේ අපි ලොකු වෙන්න වෙන්න අපි ඒ ෆැන්ටසි ලෝකෙන් ඈත් වෙනවා .. මේ ෆැන්ටසි ලෝකේ ජිවත් වෙන්න තියෙන කැමැත්ත ලස්සනට  විග්‍රහ වෙච්ච තනි වාක්‍යක් මේ මාතෘකාව.

 මම මේක මුලින්ම දැක්කේ මම කලින් වැඩ කරපු තැන හිටපු මල්ලි කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එක විදියට . උට ටිකක් මොලේ කචල් ... හැබැයි මු මේ ස්ටේටස් එක දාපු වෙලාවේ මට හිතුන යකෝ මුට වැඩිය මට කචල් නේ කියල.. හි හි .. 

ෆැන්ටසියට වඩා යතාර්ථය දකින්න කියල තමයි අපිට හැමෝම උගන්වන්නේ... අපි යතාර්ථය කියල දකින්නේ ඇත්තද? නැත්නම් සමාජය විසින් අපිට ඇත්ත කියල දකින්න සලස්සපු තවත් ෆැන්ටසියක් ද?  

මේ ලෝකේ රිද්මය හරියට හදුනාගත්ත මිනිස්සු කාලෙන් කාලෙට බිහිවෙනවා. ඔවුන් ඒ රිද්මය එක එක විදියට පාවිච්චි කරලා බොහොම අපුරු ෆැන්ටසි නිර්මාණය කරනවා .. හොඳ සහ නරක දෙකටම..  ඔය අතරින් අපි වගේ හුදී ජනයා තම තමන් කැමති ෆැන්ටසි තොරගෙන් ඒවා ඇතුලේ ජිවත් වෙනවා.

ගොඩක් වෙලාවට අපි අපේ ෆැන්ටසි ලෝකෙට හිර වුනාම අපිට අනිත් කෙනාගේ ෆැන්ටසිය පෙන්නේ නෑ .. මට වගේ වෙලා තියෙන්නේ දේශපාලනය,ආර්ථිකය,සමාජ ප්‍රශ්න වගේ ෆැන්ටසි එච්චර පෙන්නේ නෑ .. මට පෙන්නේ හඳට යන සින්, ඒලියන් සීන්, ඊට පස්සේ ඔය හයි ටෙක් සීන් සහ සුරංගනා කතා වගේ දේවල් තමයි..  තවත් කෙනෙකුට කලාව සංගීතය වගේ ෆැන්ටසි ඇති .. මහ පොළොව සමඟ ගැටී වැඩ කරන ගොවියා,කම්කරුවා ගේ ෆැන්ටසිය ඔය හැම එකටම වඩා වෙනස් ඇති... ආගම ෆැන්ටසියක් කරගත්ත අයට ඔය අනිත් ෆැන්ටසි හැම එකටම වඩා වෙනස් ලෝකයක් පේනවා ඇති ..

හැබැයි සංවේදී කම සහ මානුෂික හැඟීම්  වල වෙනසක් මේ ෆැන්ටසි වෙනස නිසා සිද්ද වෙනවද? හිතන්න ඕනේ දෙයක්..

තමන් ජිවත් වෙන ෆැන්ටසියට අදාළව  බොහොම  වැදගත් දේවල් මේ ලෝකෙට කරපු මිනිස්සු ඉන්නවා ... අරගලයේදී මියයන පිඩිතයා  සහ අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශගමියා දක්වා තමන් දකින ඒ ෆැන්ටසිය නිසා ලෝකයට යම් මෙහෙයක් කරන මිනිසුන් ඉන්නවා.. වඩා වැදගත් වන්නේ කවුරුන් කළ  මෙහෙයද කියන එක අවසානයේ තම තමන් ජිවත් වෙන ෆැන්ටසියට සාපේක්ෂයි ... 

සමාජ ප්‍රශ්න නිසා එකිනෙකා ජිවත් වෙන්න කැමති ෆැන්ටසි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. හැබැයි හිත යටින් තියෙනවා අපි ඇත්තටම ආස කරන ෆැන්ටසිය .. අපිට අපි ආස කරන ෆැන්ටසියට යන්න බොහෝ වෙලාවට ඉඩක් ලැබෙන්නේ නෑ .. සමාජය කියන ෆැන්ටසි ජෙනරේටරය කාලෙන් කාලෙට අපිව එක එක ෆැන්ටසි වල හිර කරන නිසා.  

හැබැයි පොඩි කාලේ තමන්ගේ හිතට කාවදින ෆැන්ටසිය තුල අපිව හැමදාම ජිවත්කරවන සුළු ස්භාවයක් මේ විශ්වයේ තියෙනවා. අපි එක හරියට දකින්න ඕනේ ..අනිත් ෆැන්ටසි වලට හිර නොවී තමන් ආස කරන දේ වෙනුවෙන් යන මිනිස්සු  අවසානයේ ඒවා තුලින් අපූරු දේවල් කරන්නේ ඒ නිසා වෙන්න ඇති ...

මට හිතෙන්නේ මේ ෆැන්ටසි අප තුල මුලින්ම වපුරන්නේ අප කියවන පොත පත. පොත් පත් නොකියපු අය තමන්ට සහජයෙන් උරුම වන හෝ ජිවත් වන සමාජය විසින් තල්ලු කරන ෆැන්ටසි වල ජිවත් වෙනවා. සමහරවිට දැන් දැන් වෙන වෙන දේ වලිනුත් පොඩි උන් ෆැන්ටසි හදාගන්නවා ඇති .. 

මට හිතෙනවා අපිට අපි ජිවත් වෙන ෆැන්ටසිය හරියට අඳුන ගන්න පුළුවන් නම් මේ ලෝකය වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියල. සැරෙන් සැරේ එක එක ෆැන්ටසි වලට හිර වෙන්නේ නැතුව..
  
අප ජිවත් වන ෆැන්ටසි සියල්ලෙන්ම තොර වූ එක්තරා නිර්මල ස්භාවයක් මේ විශ්වයේ පවතිනවා... තමන් ජිවත් වූ ෆැන්ටසිය අවබෝධයෙන් යුතුව ගෙවා නිම කරලා අවසානයේ සියලුම ෆැන්ටසි යනු මායාවක් පමණයි කියල දකින මිනිස්සු අවසානයේ අන්න ඒ නිර්මල ස්භාවයට පත්වෙනවා. ඒක ෆැන්ටසි  වලින් ස්වයක්තයි ඒ කියන්නේ ෆැන්ටසි ඉන්ඩිපෙන්ඩන්ට්..  

කොහොම හරි ඉතින් ඒ කුමාරයා මකරව  මරල කුමාරිව බේරගත්තලු .. ඊට පස්සේ ඒ කුමාරයයි කුමාරියි බොහොම සතුටින් ජිවත් වුනාලු.. අම්මට හුඩු වැලිවේරියේ දෙන්නෙක් මරලා නේද වතුර ඉල්ලලා උද්ගෝෂණ කරලා.. අනේ අම්මප මේ ආණ්ඩුවනම් .. !