Saturday, July 21, 2012

"ස" නතර කළ හේතුව

"ස" කියන අකුරට අලුත් අරුතක් ලබා දුන වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය ඊයේ  අවසාන විය. 1973 සිට 2012 දක්වා 1450 වාරයක් ප්‍රදර්ශනය කළ මෙම ප්‍රදර්ශනය අවුරුදු 39කට පසු අවසාන කිරීමේ තීරණය ගැන අප බොහෝදෙනෙක් කම්පා වුණද එය අවසාන කළේ ඇයි දැයි වික්ටර් රත්නායක කළ ප්‍රකාශය ඇසූ කළ එය කොතරම් සාධාරණ දැයි මට සිතිනි. කළ යුතු දේ නම් එයැයි වටහා ගත් පසු "ස" නැති ශෝකය නැති වී ගියා සේ දැණිනි.

වික්ටර් රත්නායකගේ සිංදු වල මා කැමතිම සිංදු බොහෝ තිබුණද ඔහු මගේ ප්‍රියතම ගායකයා නොවීය. බොහෝ විට මෙපමණ කලක් මා "ස" නැරඹීමට නොයාමට හේතුව එය වන්නට ඇත. අමරදේව,අමරසිරි පීරිස්,සුනිල් එදිරිසිංහ,දිවුල්ගනේ,කපුගේ සහ වික්ටර් රත්නායක ලෙස මාගේ ප්‍රියතම අනුපිළිවෙල සකස් කළ හැක.

කෙසේ හෝ මෙපමණ කළක් "ස" නොබැලූ මා අවසාන "ස" බැලීමට මීට මාසයකට පමණ පෙර මිලදී ගත් ටිකට් එකේ පිහිටෙන් ඊයේ ලුම්බිණි රඟහලට ගියේ මගේ ප්‍රථම සහ අවසාන "ස" නැරඹීමටය. මීට අවුරුදු 39කට පෙර "ස" ආරම්භයේදී ලුම්බ්ණි රඟහලේ ජනෙල් දොරවල් කඩාගෙන ආ ජන ගංඟාව ගැන අසා තිබූ කතාව සත්‍ය බව ඊයේ එළිමහනේ සාදා තිබූ ශාලාව තුළ සහ ඉන්පිටත රැස්ව සිටි ජනතාවගෙන් පැහැදිලි විය.

අවසාන ප්‍රසංගය වුවද එහි වූයේ සරල තවත් එක් ප්‍රසංගයක් වැනි සැරසීම් සහ සාමාන්‍ය වේදිකාවකි. පුරුදු නිහතමානී කමින් 39 අවුරුද්දක් කරගෙන ආ ආකාරයටම ආරම්භ කර ගලා ගිය ප්‍රසංගය තුළ සාමාන්‍ය අවසන් ප්‍රසංග තුළ නොදකින චාම් බවක් මම දුටිමි.

ආරාධිත අමුත්තන් පිළිගැනීම්,පිළිගැනීමේ කතා, නිවේදකයාගේ ගුණ වැයුම්, ආරාධිත අමුත්තන්ගේ ගුණ වැයුම්,දේශපාලන ගුණ වැයුම් කිසිවක් එහි නොවීය. විකටර් රත්නායක සුපුරුදු ලෙස ගී ගැයුවේය.

ගී අතර ලබා ගත් විවේකයකදී වික්ටර් රත්නායක සරලව එක් වදනක් කීවේය. "පටන් ගත්ත හැමදේම අපි ඉවර කරන්න ඕනේ නේ. ඒක නිසා මේකත් ඉවර කරල දානවා". සුපුරුදු පරිදි ගීතවල හරය,නියම අයිති කරුවන්, ඒ හා බැඳුණු රසවත් සිදුවීම් අතරින්  පතර මතක් කරමින් සෑහෙන වේලාවක් ගලාගිය ප්‍රසංගයේ අවසන් හරියේදී නිවේදක ලෙස කටයුතු කළ වසන්ත රෝහණ මහතාගේ ආරාධනාවෙන් වික්ටර් රත්නායක "ස" නැවතීම ගැන පැහැදිලි කළේය.

ඔහුගේ ඒ පැහැදිලි කිරීම මට මතක හැටියට මෙසේය.

"ඒක පුද්ගල ප්‍රසංග තව ගොඩක් තියෙනවා. ගොඩක් ඒව අපි දන්නෙම නැතුව ඉවර වෙලා යනවා. එක්කෝ මිනිස්සු ඒව අත ඇරල දාන නිසා ඒවා නතර වෙනවා. නැත්නම් වෙනත් විවිධ ප්‍රශ්න නිසා පටන් ගත්ත අයම ඒවා නතර කරල දානවා. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංගයක් විදියට මුලින්ම පටන් ගත්ත මේ ප්‍රසංගයට නියම විදියේ අවසානයක් මට පුළුවන් කාලේදි දෙන්න ඕනේ නිසයි මම මේ තීරණේ ගත්තෙ. පටන් ගත්ත කාළෙට වඩා මගේ හඩ වෙනස්. මමත් වෙනස්. තව කාලෙකින් මේ තත්වෙන් වත් මේ ටික කියාගන්න බැරි වෙයි. ඊට කලින් මේක මේ විදියට නතර කරල දාල ඉවර කරන්න මම කැමතියි."

ඇත්තටම මම ලිව්වාට වඩා රසවත් සහ හරවත් ලෙස ඔහූ ඔය අදහස කිව්වා. බොහෝම සරල අහිංසක හිනාවකින් යුතුව කරුණාවෙන් ඔහු ඒ දේ පැහැදිලි කළ ආකාරය නිසා ලත් අවබෝධයෙන් මෙතෙක් කලක් "ස" නොබැලූ එක අපරාදේ කියා සිතුනත් මින් ඉදිරියට "ස" නැතිවීම ගැන බොහෝ අයට දුකක් නොදැනෙන්න ඇති.

ආරම්භයේ සිට මේ දක්වා ප්‍රසංගය සඳහා උදව් කළ අයට වික්ටර් රත්නායක නම් ඒ නිහතමානී මහා මිනිසාගෙ අතින්ම සම්මාන ලබා දුන් අතර, ඔහු වෙනුවෙන් ලබා දුන් උපහාර සම්මාන අතර මතට දුමට ඇබ්බැහි වී ඔහු ගත කළ ජීවිතයෙන් මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකා අමද්‍යප සංගමයෙන් ඔහුට ලබා දුන් සම්මානයෙන් ඔහුගේ නිර්ව්‍යාජ ජීවිත ගමන ගැන අප සැමට සිතන්නට දේ ඉතිරි කළ බව නොකියාම බැරිය.

රු 500 ටිකට් ගත් අපට 1000 හේ අසුන් වල සිට ප්‍රසංගය නැරඹීමට අවස්තාව උදා කළ ඒ පින්වත් සැමට ස්තූතිවන්ත වෙමින් බට්ටි නංඟී සහ (මම  "අපි ඔක්කොම රජවරු" තාලය කාර් එකට තට්ටු දමමින්) ගෙදර ආවෙමු.

Tuesday, July 17, 2012

ලෝකයම අතිශය සුන්දර වූ එක් මොහොතක්...

දිනය මට මතක නැත. බොහෝ විට 2008 හෝ 2007 වසරේ අග භාගය විය හැක. ජීවිතයේ වැදගත් තීරණයක් වෙනුවෙන් මහත් වේදනාවකින් යුතුව රැයක් ගත කළෙමි. හිත කැමති වී සිටි දෙය සහ හිත අකමැති වුවත් ප්‍රායෝගිකව කලයුතු දෙයක් පිළිබඳව තීරණය කිරීමට ගත කළ නිදි වර්ජිත රැයක අවසානයේදී එක්වරම....

මා කළ යුත්තේ මෙයයි යන්න මට ක්ෂණයකින් අවබෝධ විය. ඒ අවබෝධවූ දෙයත් සමඟ මුළු රැය පුරාම මා සිතින් ගතින් විඳි වෙහෙස එක මොහොතකින් අතුරුදන් වී ගිය හැටි මට තාමත් සංවේදනය කළ හැකිය. එය එතරම් සුන්දරය. අඳුරුව හිර වී තිබුණු කාමරය දීප්තියෙන් බැබලෙන සේ දැනිනි. දකින දකින හැම දෙයම පෙර නොදුටු තරම් ලස්සනකින් අතිශය චමත්කාර ලෙස පෙනෙන්නට විය. හිත තුළ වූ සැහැල්ලුව විස්තර කිරීමට හෝ පැහැදිලි කිරීමට නොහැකි තරම්ය. නමුත් ඒ සුන්දරත්වය මා සමඟ පැවතියේ විනාඩි කිහිපයකි. ඉන්පසුව සියල්ල යථා තත්වයට පත්විය. හිතේ සැහැල්ලුව පමණක් ඉතිරි විය. 

රැය පුරා මා පෙළු ගැටළුවට පිළිතුර හිත කැමති දේවත් හිත අකමැති දේවත් කිරීම නොව සිත කැමති දෙය ලබා ගැනීමට උත්සාහ නොකර සහ අකමැති දෙයට වෛර නොකර සිටීමය. එය වචන මාත්‍රයකින් කෙනෙකු දෙන උපදෙසකින් තේරුම් ගැනීමකට වඩා ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයකි. 

අවසානයේදී මට කරන්නට සිදු වූයේ මගේ සිත අකමැතිව තිබූ දෙයයි. සිත කැමතිව සිටි දෙය කිසිසේත්ම සිදු නොකල යුතුව තිබුණු දෙයක් යැයි පසුව අවබෝධවිය. නමුත් සියල්ල අවසානයේ සිදුවූයේ  මා සිතාගෙන සිටි කිසිවක් නොව මගේ ජීවිතයට වඩාත්ම සුදුසු දෙය මට හිමිවීමය. කලින් මා විසින්  කැමති සහ අකමැති යැයි වෙන්කරගෙන තිබූ සියල්ල කිසිවකට බාදාවක් නොවී ක්ෂය වී ගියේය. ඒවා කොතරම් මට අදාළ නොවිය යුතුව තිබූ දේවල් දැයි පසුව මට වැටහී ගියේය.

ජීවිතයේ එක්වරක් හෝ ඔබත් මෙවැනි අත්දැකීමට මුහුණ දී ඇත්නම් හැර මා මෙහි විස්තර කළ දෙය නිවැරදිව තේරුම් ගත නොහැකි වීමට ඉඩ ඇත. හරියට ඔබ අඳුරු බැලුම් බෝලයක් තුළ හිරවී එළියට යා නොහැකිව, එළියට යාමට දඟලමින්, ඔහේ පාවෙමින් සිටින විට එක්වරම එය බිඳීයාමක් අත්දැකිය හැකිනම් අන්න එවැනි නිදහසක්, ක්ෂණික සතුටක් ඊට සමාන කළ හැකිය.

මෙය කිසිදිනක ලියා තැබීමට මට අවශ්‍ය නොවිණි. එතරම් වැදගත් යැයි කිසිදිනෙක නොසිතුවෙමි.  නමුත් අහේතුකවම අද ලියන්නට සිතුණු නිසාවෙන් ලියා තැබීමි.

Friday, July 13, 2012

වර්ධිත යතාර්ථය හෙවත් Augmented Reality (වීඩියෝ සහිතයි 18+ නෙවෙයි)

මට තියෙන උණ වලින් එකක් ගැන පහුගිය දවස් ටිකේ මම කරපු සොයා බැලීම් ගැන පොඩි සටහනක් දාන්න හිතුණා. අතත්‍ය යාතාර්ථ උණ දැන් ටිකක් හොඳ වෙලා ඒ ගැන දැන් එච්චර උනන්දුවක් නෑ. දැන් තියෙන්නෙ මේ උණ.

Minority Report, Iron Man, Avengers වගේ චිත්‍ර පටි බලල තියෙන අය දැකල ඇති මෙන්න මේ වගේ පොඩි ආතල් වැඩ කෑලි දාන ෆිල්ම් වල ඉන්න අයියලා..




ෆිල්ම් වලදි නම් මේ දේවල් පෙන්නන්නේ පොඩි පොඩි කොම්පියුටර් ජිල්මාට් කෑලි,වීඩියෝ එඩිටින් වගේ දේවල් කරල. නමුත් මේ වගේ දේවල් ඇත්තටමත් කරන්න පුළුවන් සැලකිය යුතු මට්ටමකින්. (ඔය මයිනෝරිටි රිපෝට් මට්ටමට එන්න නම් තව කාලයක් යයි)

මොකක් ද මේ වර්ධිත යතාර්තය කියන්නේ කියන එක මම තේරුම් ගත්ත විදියට කියනවනම් අපි මේ ඉන්න පරිසරයේ තියෙන දේවල් සමඟ පරිගනකය මඟින් නිර්මාණය කරපු දේවල් මික්ස් කිරීම වගේ වැඩක්. ඒ වැඩේ ගොඩක් වෙලාවට චිත්‍ර පටි වලදි කරනවා.. ඒ කියන්නේ සැබෑ මිනිසුන් සහ පරිසරය තුළට පරිගණකයෙන් හදපු කල්පිත සතුන්,ගොඩනැඟිලි, වාහන වගේ දේවල් දාල කෘතිම පරිසරයක් නිර්මාණය කරන එක. හැබැයි ඒක කරන්නේ ගොඩක් වෙලාවට ලොකු පරිස්‍රමයක් දරල ගොඩක් උපකරණ සහ විවිධාකාර තාක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරල.

අතත්‍ය යතාර්ථය සහ වර්ධිත යතාර්ථය අතර වෙනස තමයි අතත්‍ය යතාර්ථය කියන්නේ ස්වභාවිකව අපි දකින පරිසරය සහ මිනිසුන්,සතුන්,ගහ කොල මේ පරිගණකය ඇතුලේ තියෙන ලෝකය තුළ කෘතිමව නිර්මාණය කරන එක. ඒ කියන්නේ ඔය ගේම් වල තියෙන විදියට පරිසරය සැකසීම, වර්ධිත යතාර්ථයේදි කරන්නේ පවතින පරිසරය තුළට පරිගණකයෙන් නිර්මිත දේ එකතු කිරීම.

මේ දෙක ගැන තාක්ෂණික කරුණු ඕනෙ තරම් විකීපීඩියාවෙන් හොයා ගන්න පුළුවන්. (මට ඒකේ තියෙන සහ ඔය ගූගලය දෙන විස්තර සිංහලෙන් ලියන්න අවංකවම පට්ට කම්මැලියි. මේ ටික ලියන්න හිත හදා ගත්තෙත් සෑහෙන අමාරුවෙන්).

හරි අපි සරලව බලමු කොහොමද මේ වර්ධිත යතාර්ථය කියන එකක් පරිගණකය බාවිතාවෙන් හදා ගන්නේ කියල. මේ කියන්නේ හෙනම ප්‍රාථමික විදියට මේ වගේ එකක් වැඩ කරන විදිය. අපි වෙබ් කැම් එකක් හරි නිකන් කැම් එකක් හරි පාවිච්චි කරල ගන්න පින්තූරය හෝ වීඩියෝ ව තියෙනවනේ. අපිට පුළුවන් මේ පින්තූරය හෝ වීඩියෝව Image Processing හෝ Video Processing Algorithms බාවිතා කරල ප්‍රොසෙස් කර ගන්න. ඊට පස්සේ ඒ ප්‍රොසෙස් (ප්‍රොසෙස් කරනව කියන්නේ ප්‍රොසෙස් කරන එකට. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් කරනවට.. තේරුණානේ) කර ගත්ත පින්තූරෙට හරි වීඩියෝ එකට හරි පරිගණකය මඟින් නිර්මාණය කරපු වස්තුවක් Real Time එකතු කරන්න. මේ පහල පින්තුර බැලුවම තේරෙයි.




දැන් කොම්පියුටරය කොහොමද මේ කෘතිම වස්තු ස්ථාන ගත කරන්න ඕනේ නියමිත තැන හරියටම හොයා ගන්නේ. ඒකට අපිට තෝරාගත් Patterns පාවිච්චි කරන්න පුළුවන්. Patternස් කියන්නේ මෙන්න මේ වගේ ඒවා


අපි යොදා ගන්න පින්තූරේ හරි වීඩියෝ එකේ හරි තියෙන මේ Pattern එක අර ප්‍රොසෙසින් කරනකොට අඳුරගෙන ඒක තියෙන ඛන්ඩාංක වලට අදාල ස්තානයේ අපිට ඕනෙ කරන වස්තුව නිර්මාණය කිරීම තමා මේකෙදි කරන්නේ.

ෆිල්ම් වල දකින ඒවට අමතරව මෙන්න මේව බලන්නකෝ.. කොච්චර අපූරුද කියල..


                                          




හරි මෙන්න මේ වීඩියෝ 2ක බැලුවහම වෙන්නේ මොකක් ද කියල තව හොඳට තේරෙයි... හික්.. ඔය ඉන්නේ මම, අපේ ඔපිස් එකේ, මේ අද තමා වීඩියෝව ගත්තේ මේකට දාන්න .. ජීවිතේ ප්‍රථම වතාවට මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ.. ඒ නිසා අවුල් වෙච්ච ගනන් ගන්න එපා. සිද්දිය විතරක් බලා ගන්න හික්...



මේ මගෙ අතේ තියෙන කොලේ ප්‍රින්ට් කරල තියෙන පැටර්න් එක අඳුරගෙන ඒක උඩ මේ වර්ණවත් ත්‍රිමාණ රූපය පරිගනකය මඟින් නිර්මාණය කිරීම තමයි මේකෙදි වෙන්නෙ.  හොඳට බැලුවොත් පෙනෙයි මේක ඇත්තටම නිර්මාණය වෙන්නේ ඒ පැටර්න් එකට මඳක් ඉහලින් කියල.  අපිට පරිගණක වැඩසටහන් මඟින් මේ දතත වෙනස් කරල ඕනෙ විදියට මේක හදා ගන්න පුළුවන්.


මේ කන්දක් වගේ හැදෙන එක අර පැටර්න් එක උඩ හැදෙනවා.  මම කොලේ එහෙට මෙහෙට කරන නිසා තමයි හැම වෙලේම ඒක නැවත නැවත හැදෙන්නේ. ඇඟිල්ලෙන් ඇනල කඩල දාන්නත් පුළුවන් ඔන්නම්.. හික් හික්...

ඔපිස් වෙලාවේ හදපු නිසා මගේ සුමියුරු ටකරං හඩිං මොකුත් කියන්න විදියක් නෑ.. අනිත් උන්ගේ සද්ද බද්ද නම් ඇහෙනවනේ..

ප්‍රොජෙක්ටර් සහ නියමාකාරයෙන් කැමරා භාවිතා කරල ඇත්තටම මේ දේවල් අපේ  මේසේ උඩ හෝ වෙනත් ඕනෙම මතුපිටක හදන්න පුළුවන් එහෙම කරන්න නම් ඉතින්  අපිටත් රජයෙන් සහයෝගය අවශ්‍යයි. හික් හික් (මම වැඩ තියෙද්දි මේව කරන එක ලොක්ක සද්ද නොකර බලාගෙන ඉන්න එකම මදෑ.. ඔය වීඩියෝ එකේ පිටිපස්සෙන් ලාවට පේන්න ඉන්නේ ලොක්කා තමයි. මම කරන හැමදේම පොරට පේනවා. මම ඉතින් මිනිහටත් බලාගන්න කියල මේවගේ දේවල් කර කර ඉන්නව. තාම පඩිය නම් යනවා පොතට.. අනේ මන්ද ඉතින් තව කී කාලයක් මිනිහා මේවා බලාගෙන ඉඳියි ද දන්නෑ.. හි හි හි..)

මේ වගේ ආතල් වැඩ වලට අමතරව මේ වර්ධිත යාතාර්ථය කියන දේ ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම් වල,ක්‍රීඩා වැඩසටහන් විකාශය කරනකොට වගේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඔය ක්‍රිකට් මැච් බලනකොට ග්‍රවුන්ඩ් එක පුරා ඉරි එහෙම ඇඳල ගහපු ෂොට් එහෙම පෙන්නන්නේ මේ තාක්ෂනෙන්.

අනාගත ලෝකෙ බොහෝ දේවල් වල මේක තියෙයි. ඒ කියන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරල හදපු කන්නාඩියකින් දකින් දකින දේ ගැන විස්තර අපේ ඇස් ඉදිරියේ පෙන්නුම් කරන වගේ දේවල්. ගූග්ල් එකෙන් මේ ලඟදි හදපු Project Glass  කියන නිර්මාණය මේ ක්‍රමයේ සහ තවත් තාක්ෂණික ක්‍රම වල සංකලනයෙන් බිහි වෙච්ච තවත් අපූරු නිර්මාණයක්.

අපි කාටුන් වල ෆිල්ම් වල දකින බොහෝ දේවල් ඇත්ත ජීවිතේට එන්න තව වැඩි කාලයක් යන එකක් නෑ.