Thursday, October 21, 2010

සතුන්ට අපිව කොහොම පේනවා ඇත් ද?

පහු ගිය දවසක වැස්සට තෙමිච්ච හින්ද ආපු අදහසක් ද කොහෙද මේක... හිතන්න දේවල් එකසිය ගානට තියාගෙන මම ඉතින් මේ වගේ වැදගත් දේවල් ගැන හිතන්නත් පොඩි කාලයක් වෙන් කර ගන්නවා.

මට ආපු ප්‍රශ්නේ තමා බල්ලන් ගේ පූසන් ගේ කුරුල්ලන් ගේ ලෝකය ඇතුළේ මිනිස්සුන්ට තියෙන තැන මොකක් ද කියල. උන් කොහොම ද අපි ගැන හිතන්නේ... අපිව අඳුර ගන්නේ කොහොමද... මිනිස්සු කියන සතුන් ගැන බල්ලන්ගේ පූසන්ගේ කූඹින්ගේ ඊ.ටී.සී... ගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට කොහොම පේනව ඇති ද?

බල්ලන්ට පූසන් ගැන හා පූසන්ට බල්ලන් ගැන ඇති හැඟීම් මෙන් මිනිසුන් ගැන මොනවගේ දේවල් හිතෙනව ඇත්ද නැත්නම් උන් ඔය වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නව විතර ද?

ටික කාලෙකට කලින් එක පොඩි සිද්ධියක් වුණා මටයි අම්මටයි. කොයිවෙලාවේ කොතන බෝම්බයක් පුපුරයි ද කියල බයෙන් වැඩට යන්න ගිය දවසක අම්මයි මමයි ගෙදරින් එළියට එන්න හදන කොටම අපේ ගෙදර ළඟ පාරේ ඉන්න බල්ලෙක් (නිතර ඉන්න අයාලේ යන බල්ලෙක්) අපි දෙන්නට යන්න දෙන්නෙ නැතුව ඉස්සරහට ඇවිත් අපිට යන්න නොදී වටේ කැරකි කැරකි හිටියා. ඌ අපිට මොකක් දෝ කියන්න හැදුව වගේ.. කොහොම හරි අපි දෙන්න විනාඩි 5-10 ක් විතර ඉඳල ගියා. එදා නම් බෝම්බයක් පිපිරුවෙ නැද්ද කොහෙද.. කොහොම හරි මට පස්සෙ හිතුණා බල්ල එදා ට්‍රයි කලේ බල්ලගෙ මොකක් හරි ප්‍රශ්නෙකට අපෙන් උදව්වක් ගන්න ඕනේ වෙලා ඌ අපිට ඒක කියන්න ට්‍රයි කලා වත් ද කියල.

කොහොම වුණත් බල්ලට අපිට දෙයක් කියන්න හරි මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේ වුණා නම් ඌට අපි ගැන මතක් වෙන්න ඕනේ... අපි ගැන සිතිවිල්ලක් එන්න ඕනේ නේ.. අන්න ඒහෙම හිතෙන වෙලාවෙදි බල්ලගේ හිතේ ඒ මනුස්සය ගැන තියෙන්නේ මොනවගේ දේවල් ද...මොනවගේ ප්‍රතිරූපයක් ද

නිකමට වගේ හිතල බලනකොට පොඩි ෆන් ගතියක් තියෙනවා වගේ නේද? මගේ මේ ඔළුව පෙඟිච්ච          නිසා ද මන් ද මට මේව හිතෙන්නේ...

Tuesday, October 19, 2010

දුක හිතීම...

මට අද දුක හිතුණා... හේතුව දන්නේ නෑ...

Monday, October 11, 2010

කෙස් ගහෙන් මිස් වුණ NASA ගමන

මම ඔය රට යන වැඩේට එච්චරම කැමති නෑ... මෙන්න මෙහෙට වෙලා තියෙන දෙයක් කාල බීලා පවුලේ කට්ටියත් එක්ක දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමා ඉතින් මම කැමති. හැබැයි NASA එකට යනවා කියන්නේ පොඩි කාලේ ඉඳල මගෙ හිතේ තිබුණ ලොකුම ආශාව... ඉස්සර මගේ කාමරේ බිත්ති 4 පිරෙන්නම ගහල තිබුණේ NASA එකෙන් එවපු පින්තූර.  මීට අවුරුදු 2-3කට කලින් තමයි මම ඒ ටික බිත්තිවලින් ගැලෙව්වේ. කල වයස හරි ගිහින් ඔය එක එක වැඩ වලට ගේ රෙපයාර් කරන කොට තමයි හිතුණේ දැන් ලොකුයි නේ මේව දැන් සුදුසු නෑ කියලා. බොහෝම දුකින් ඒ ටික ගලවලා මම වගේ උණ තියෙන තව පොඩි එකෙකුට දුන්නා.
කොහොම හරි ඉතින් NASA එකට යන එක හීනයක් විතරක් වෙලා තිබුණේ මීට මාස 2-3ක් වෙනකම්.
 කෙටියෙන් කිව්වොත් මේකයි වුණේ. අනාගතේ ගැන ටිකක් සිරාවට හිතල බලල කරන්න තියෙන වැඩ ටික ගොඩ දාගන්න තියෙන එක විසදුමක් විදියට ඇම්.ඇස්.සී එකක් කරන්න කියල හිතාගෙන පිට රටකට යන්න සෙට් වුණා. ලංකාවේ අපි වගේ අයට බොහෝම හොඳට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හොයාගෙන බොහෝම අමාරුවෙන් පාඩම් කරල ඒකට යන්න කරන්න ඕනේ විභාග පාස් කරල රටේ නැති වැඩ කෝටියක් විතර කරල යන්න ඔක්කෝම සෙට් කර ගත්තා. ඇමරිකාවට යන්න ලැබුණ මේ චාන්ස් එකේ මම දැක්ක එකම ආතල් සීන් එක තමා NASA එක බලන්න යන්න පොටක් පාදා ගැනීම. වෙන මොකුත් නෙවෙයි NASA එකේ බෝඩ් එක ඉස්සරල ඉඳල පොඩි පොටෝ කෑල්ලක් අල්ල ගන්න තිබ්බනම් ඇති.
අපරාදේ කියන්න බෑ.. අර මට තිබ්බ මිලියනපතියෙක් වෙන සිහිනෙත් ඕං හරි ගියා. අපේ මාමට පිං සිද්ද වෙන්න වීසා එක ගන්නකං කියල මාව මිලියනපතියෙකුත් කලා. මම යි මගේ කෙලිපොඩ්ඩයි දෙන්නම එකම ක්‍රියාමාර්ගය අනුගමනය කරල කැම්පස් එකේ ඔක්තෝබර් වාරේට යන්න ඉත සිතින් සෙට් වුණා.
අපි එලෝ කෝටියක් දේවල් කලත් ඉතින් අන්තිමට සුද්දනේ වීසා එක දෙන්නේ. දෙවියන්ට බුදුන්ට වැඳල ගියා කෙලිපොඩ්ඩ ගියා ඉතින් හා හපුරා කියල වීසාව ගන්න. අපරාදේ කියන්න බෑ වීසා දෙන්න හිටපු සුද්දිත් බොහෝම ලස්සනට හිනා වෙලා වීසාව රිජෙක්ට් කලානේ. ඒ කැම්පස් එකට කලින් ගිය කවුරුත් ආයේ ඇවිත් නෑ  ඇම්.ඇස්.සී කරන්න වෙන කැම්පොස් එකක් හොයාගන්න කියලා. කාට කියන්න ද ඊට පස්සේ.... මම ඉතින් නාසා එක බලන්න ඕනේ කියල වීසා ඉල්ලන්නයෑ...
දැන් ඉතින් NASA ගැන හිත හිත උඩ බලාගෙන ඉන්නවා... හික්...