Saturday, September 18, 2010

කියන දේ ඇසීම...

වැඩිහිටියෝ කියන දේ අහන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් අපිට උගන්නන දෙයක් නේ... ඕක හරියට කරන්නෙ අපි කීයෙන් කී දෙනා ද? කියන දේ ඇසිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ වැඩිහිටියගෙ ස්වභාවය අනුව කියල තමයි මම නම් හිතන්නේ...

එක එක වැඩිහිටියෝ එක එක විදියනේ... තමන්ට අවංකවම ආදරෙන් තමන් ගේ සතුටට දියුණුවට අවවාද අනුශාසනා දෙන අය ඉන්නේ බොහෝම කලාතුරකින්... අම්මා තාත්තා කවදාවත් දරුවන්ට වැරදි අවවාද දෙන්නේ නෑ... ඒ අයගේ දැනුම් තේරුම් කම් අනුව ඒ අය දෙන අවවාද සමහර වෙලාවට අපිට පිළිගන්න බැරි වෙන්න පුළුවන් නමුත් එයාලා එහෙම කරන්නේ සැබෑවටම ආදරෙන් සහ අවංක සිතින්. වඩා වැදගත් වෙන්නේ අන්න ඒ අවංක කමයි ආදරයයි.

අම්මා තාත්තා ඇරුනහම අපිට ආදරෙන් අවංකව උපදෙස් දෙන අය ඉන්නවා හැබැයි ඒ උපදෙස් බොහෝ වෙලාවට එක දැක්මක් මත පදනම් කරගෙන විතරයි එයාල දෙන්නෙ.. උදාහරණෙකට ජොබ් එකක් ගැන උපදෙස් ගන්න කොට ගොඩක් වෙලාවට අම්මල තාත්තල කියන්නෙ කරදරයක් අමාරුවක් නැතුව පාඩුවෙ කරන්න පුළුවන් ජොබ් එකක් හොයා ගන්න කියල ඒක තමා ජොබ් එකක් කරන ඕනෑම මනුස්සයෙකුගේ හිත ඇතුලේ තියෙන එකම බලාපොරොත්තුව. නමුත් ඔය උපදේසේ වෙනත් වැඩිහිටියෙක් ඒ කිව්වේ අයියා,අක්කා,මාමා,නැන්දා,ගුරුවරු.. ඊ.ටී.සී... ඊ.ටී.සී... දෙන්නේ සමාජ සම්මත මත අනුව. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න නම් මේවගේ එකක් තමා කරන්න ඕනේ... ඔයවගේ ජොබ් කවුරුත් ගනන් ගන්නෙ නෑ.. ඕව කරල තැනකට එන්න අමාරුයි... ඕව නේ.

ජීවිතේ ගැන එක එක්කෙනාගේ අවබෝධයේ වෙනස ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද අපි තාම ජීවීතේ හරියට තේරුම් අරගෙන නැති නිසා. ගොඩක් වෙලාවට අපි ඒ ඒ අයව තේරුම් ගන්න හදන්නේ එයාල භෞතිකව ලබාගෙන තියෙන දේ අනුව. එයාලගේ අභ්‍යන්තරය අපිට පේන්නේ නෑ.. එයාල අපිට ඒක පෙන්නන්නෙත් නෑ.

හැබැයි අපි ඇතුලත් පිටත් දෙකම හොඳට දන්න දෙන්නා තමයි අපේ අම්මයි තාත්තයි. මොකද එයාලට අපිට හංගන්න දෙයක් නෑ. අපිත් එක්ක උදේ හවස ජීවත් වෙන අපේ දුකට සැපට ඉන්න අය තරම් අපිට හරි යන දේ වෙන කාටවත් තේරුම් ගන්න බැහැ. අම්මල තාත්තල දෙන උපදෙස් අපේ සමාජ ජීවිතයට හරිම යන එක නොවෙන්න පුළුවන් මොකද එයාල අපේ වයසෙදි ජීවත් වෙච්ච සමාජෙයි දැන් සමාජෙයි හෙනම වෙනස් නිසා. නමුත් එයාලා ඒ දෙන අවවාද අපේ පුද්ගලික ජීවිතේට හරියටම හරි යනවා.

මේ මම මගේ 29 අවුරුද්දක් තිස්සේ ජීවත් වෙච්ච කාලේ තුළ ජීවිතෙන් ඉගෙන ගත්ත පාඩමක්.

හරි දැන් කියන්නම් මේ තකහනියේ මට මේ වගේ තවුසන්ඩ් ටෝක් එකක් දාන්න හිතුන කාරණේ..
මම මේ දැන් තමා The Sixth Sense බලල ඉවර කලේ. ඉස්සර ඉඳන් බලන්න හිටපු ෆිල්ම් එකක් වුණාට අද තමා බැලුවේ. අපේ Sixth Sense එක ගොඩක් වෙලාවට අපිට හරිම යන දේ අපිට කියනවා නමුත් අපි ඒක අහන්නේ නෑ. අපේ උපතින්ම තියෙන Sixth Sense එක සමාජ සම්මත විසින් යටකරන කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ. තාවකාලිකව ඒ සමාජ සම්මත දිනනවා නමුත් අවසානයේ සැබෑ දිනුම පැරදුම තීරණය වෙන්නේ අපි කොච්චරක් දුරට අපේ Sixth Sense එක කියන දේ පිළිගන්නව ද නැද්ද කියන එක අනුව.

මේ ෆිල්ම් එකේ ඔහොම කතාවක් නෑ. මේක ඉන්න පුංවි ළමය මම වුණා නම් කොහොම ද කියල නිකමට වගේ හිතුවා. හික් හික්..

හරි, මම තාමත් ආසන්නතම හේතුව කිව්වේ නෑ..

මම පහුගිය අවුරුදු 2-3 ඒ කිව්වේ 2006-2009 වගේ කාලේ කරපු වැදගත්ම දේ තමා භාවනාව,ආධ්‍යාත්මික ජීවිතය, ජීවිතයේ සැබෑ හරය.. ඊ.ටී.සී...ඊ.ටී.සී හොයපු එක. (ඒව හොයන්න ගිහින් ඉතින් ඔය වෙන වෙන දේවල් කර ගන්න එක ටිකක් අතපසු වුණා... මේ දවස් වල ඒ අතපසු වීම් වලට වන්දි ගෙවනවා හී හී..) ඒ.එස් බාලසූරිය මහත්තයා, විජේසිංහ මහත්තයා,රත්නායක මහත්තය එක්ක හැම මාසෙකට දවසක් සම්පූර්ණයෙන් භාවනාව සහ ගැඹුරු අභිධර්මය ගැන ගම්පහ වතුරුගම පාරේ තියෙන සනාතන ධර්ම මධ්‍යස්තානේ ඉඳන් කරපු සාකච්චා මගේ ජීවිතේ මාර විදියට වෙනස් කලා.

ඔය සාකච්චා වලදි මුල්ම දවස් වල අපිට හෙනටම අල්ලලා ගියේ (අපි කිව්වේ මමයි අක්කයි අක්කගේ අයියා (මචා)) භූතයෝ සහ දෙවියෝ ගැන ඉගෙන ගත්ත දේවල්... කොහොම ද භූත කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමා අපිට ඒ දවස් වල තිබ්බ එකම උණ. හික් හික්... බාලසූරිය මහත්තයා බොහෝම ලස්සනට අපිට අභිධර්මය කියල දෙන අතරේ එතුමාගේ අත්දැකීම් එහෙම කියනවා. ඒ කියන්නේ භාවනාවේ එක් එක් අවදි වලදි මුහුණ දෙන්න වෙන දේවල් ගැන. අපි ඉතින් හාර හාර අහනව ඔය භූත කතා. බාලසූරිය මහත්තයා ගොඩක් වෙලාවට ඒව අපිට කිව්වේ බොහෝම පරිස්සමින්...

අපිත් අරීන්නේ නෑ හැමදාම කොහොම හරි කතාව භූත පැත්තට හරවනවා..

ඔන්න ඔහොම කතා කර කර ඉන්න දවසක බාලසූරිය මහත්තයා කිව්වා.. භාවනාව දිගටම කරගෙන ගිහින් හිත හොඳට පුහුණු වෙනකොට ඔය දේවල් නිකන් ම දැනෙන්න පටන් ගනියි එතකම් ඒවට උත්සාහ කරන්න එපා ඒවා එච්චර හොඳ නෑ කියල... ඒවා හොඳ නැත්තේ මොකද කියන එක අද මට මේ ෆිල්ම් එක බලනකොට හොඳට තේරුණා.

වැඩිහිටියෙක් දෙයක් කිව්වහම අහන එකේ වැදගත් කම ගැන පොර ටෝක් එකක් දාන්න ඕනේ කියල හිතුණේ එතකොට. නැත්නම් මෙලහට තොවිල් නටල මළ කෙලියක් වෙන්න තිබ්බා නේද කියල හිතුණා.

2 comments:

  1. භාවනා ගැන සඳහන් කරල තිබුනු නිසා මට මේ ටික ලියන්න සිත් වුනේ. පහත සඳහන් පුරුක ඔස්සේ ගොස් එහි සඳහන් සටහන කියවන්න. ඒ තරම් අගනා ප්‍රායෝගික සටහන්ක් මා මීට පෙර කියවා නැත. ඔබ ඒ අන්දමට පුහුනු වුවහොත් දින 3ක් හා දින 20ක් අතර ඔබටත් භාවනාවෙන් ලබා ගත හැකි සුවය ලබා ගත හැකි වෙයි.

    http://www.aimwell.org/Books/Mahasi/Fundamentals/fundamentals.html

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි සරත් මහත්මයා. භාවනාව ගැන ප්‍රායෝගිකව ගොඩාක් දේ ඉගෙන ගෙන තියෙනවා. එකම දේ මම දැන් භාවනා කරන්නේ නෑ.. වෙලාවක් නැති කම නෙවෙයි නමුත් මගෙ හිත මේ දවස් වල ලෞකික පැත්තට බොහෝම නැඹුරු වෙලා තියෙන්නෙ. කල වයස හරි නේ දැන් ඉතින් ටිකක් ඒ පැත්ත ගැන හිතල ඒ ටික පිළිවෙලක් වෙනකම් හිත නිදහස් නෑ වගේ.. කොහොම වුණත් කියවීම නම් අත ඇරල නෑ.

    ReplyDelete